මහමග උද්ඝෝෂණයේ යෙදෙන්නන් අත්අඩංගුවට ගැනීම මර්දනය කිරීමේ අදහසින් කෙරෙන ක්‍රියාවක් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ‘අරුණ’ට විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කරයි..

මේ තීරණාත්මක මොහොතේ වෛද්‍යවරුන්ගේත්, ඒ පිළිබඳ විශේෂඥයන්ගේත් නිර්දේශ අනුව රජය ක්‍රියාවට නගන නිරෝධායන නීතිවලට අනුගත නොවී, ජනතාව ඒකරාශී කරමින් කටයුතු කරන්නේ ජනතා අවශ්‍යතාවක් වෙනුවෙන් නොවන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි. මංගල්‍ය හා අවමංගල්‍යය කටයුතු වැනි අතිශය මානුෂික හා අත්‍යාවශ්‍ය කාරණාවලදී ද ජනතාව ඒකරාශීවීම සීමා කර ඇති අතර, වෙසක් උත්සවය, පාස්කු උත්සවය බඳු ආගමික උත්සවයකටවත් ඒකරාශී වීමට ඉඩ ලබා දී නැත්තේ ජනතාව මර්දනය කිරීමට දැයි ප්‍රශ්න කරන ජනාධිපතිවරයා මහමග පෙළපාළි යෑමට, උද්ඝෝෂණයට ඉඩදිය හැකි නම් එහි සාධාරණයක් නොමැති බව ද පෙන්වා දෙයි. එසේම උද්ඝෝෂණය කිරීම ජනතා අයිතියක් බව තමා ඉහළින්ම පිළිගන්නා බවත්, ඒ සඳහා ජනාධිපති කාර්යාලය අසලම ස්ථානයක් වෙන්කර පහසුකම් සපයා දුන් එකම ජනාධිපති තමා බවත් හෙතෙම පවසා සිටී. මේ වසංගත මොහොතේ එතැනට ගොස් උද්ඝෝෂණ නොකර රටපුරා උද්ඝෝෂණ කරන්නේ වෙනත් අරමුණකින් බව ජනාධිපතිවරයාගේ අදහසයි.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් ජනපතිවරයා මෙසේද කීය.

පසුගිය යහපාලන රජය සමයේ උද්ඝෝෂකයන්ට හැමදාමත් පහර දුන්නා. හම්බන්තොට වරාය විකිණීමට එරෙහිව තිබුණු උද්ඝෝෂණය වාර්තා කරන්න ගිය මාධ්‍යවේදීන්ගේ කන් පැළුවා. මොනරාගල තිබුණ ගොවි උද්ඝෝෂණවලට කොළඹින් වතුර බවුසර ගෙනිහින් ගැහුවේ. ඒ දවස්වල පත්තරවල පළ වුණා කඳුළු ගෑස් ගෙන්වන්න මිලියන ගණන් වියදම් කළ බව. අද ඒ ජල බවුසර් මලකඩකාලා. අද උද්ඝෝෂකයන්ට කඳුළු ගෑස්, වතුර, බැටන් චාජ් කරන්නේ නෑ’’

එන්නත්කරණය අගෝස්තු අවසානය වන විට ප්‍රශස්ත මට්ටමකින් සපුරාලනවා. ඒ සමගම රට විවෘත කරන බවද මා ප්‍රකාශ කර තිබෙනවා. තතු එසේ තිබියදීත් ගෙවුණු ධුර කාලයේ උද්ඝෝෂණ, පෙළපාළි ගැන මා ක්‍රියාකර ඇති ආකාරය ගැන අවබෝධයක්ද වෘත්තිය සංගම්වලට තිබියදීත් ඔවුන් මේ මොහොතේ උද්ඝෝෂණය කරන්නේ රට විවෘත කිරීම ප්‍රමාද කර ගැනීමටයි.

– උපුටා ගැනීම අරුණ පුවත්පත