මේ දිනවල රටේ තොටේ වැඩියෙන්ම කතා වෙන්නේ දූෂණ වංචා පිළිබඳවය. එක පැත්තකින් සීනි වංචාය. තව පැත්තකින් එන්නත් වංචාය. තවත් පැත්තකින් ඖෂධ වංචාය. මේ තරම් ඉතාම අසීරු තත්ත්වයක් තුළ පවා රටේ තොටේ වැඩියෙන්ම ඇසෙන්නේ දූෂණ වංචා ගැනය. කෙසේ වෙතත් මේ දූෂණ වංචා ගොඩට අලුතින්ම වැටුණු සිද්ධිය වුණේ ඖෂධ නියාමන අධිකාරියට අයත් දත්ත ගබඩාවේ දත්ත හදිසියේ අතුරුදන් වීමේ සිද්ධියයි. වැඩියෙන්ම ඖෂධ අවශ්‍ය මොහොතක රටේ ඖෂධ සඳහා අවසර දෙන ස්ථානයක මේ ආකාරයෙන් දෙයක් සිදුවීම ගැන සැකයක් හෝ වෙනත් දෙයක් සිතීමට අමුතු හිත් පහළ විය යුතු නැත. මෙවැනි දෙයක් සැලවූ වහාම හිතට නැගෙන්නේ “ඕක නම් ගේමක්” යන හැඟීමය.
ඇත්තටම මෙය ගේමක්ද? නැතිනම් වැරදීමක්ද? එහෙමත් නැතහොත් රුවටීමක්ද යන්න රටේ ඕනෑම පුරවැසියකු දැනගත යුතු දෙයකි. එය ඔවුන්ගේ අයිතියකි. විවිධ වෘත්තීය සමිති පවසන ආකාරයට මෙය ඉතාම සැලසුම් සහගත ක්‍රියාවකි. එය අසන දකින ඕනෑම කෙනකුටද හිතෙන දෙයකි. මේ ආකාරයෙන් තොරතුරු අතුරුදන් වීම ලෙහෙසි පහසු දෙයක් නොවේ. එහෙත් ඖෂධ නියාමන අධිකාරියේ බලධාරීන් පවසන ආකාරයට මෙහි එතරම් ගැටලුවක් නොමැත. දත්ත ඒ ආකාරයෙන්ම ඇති බව ඔවුහු සඳහන් කරති.
සැබැවින්ම අප කුමක්ද සිදුවී ඇතිද යන්න පිළිබඳ සොයා බලා මෙලෙස ලිපියක් ඉදිරිපත් කරන්නේ කවුද හරි වැරදි කීමට නොව ඇත්ත කුමක්ද යන්න ඉදිරිපත් කිරීම සඳහාය.
ඖෂධ නියාමන අධිකාරියට සිය දත්ත තොරතුරු සහ ලිපිගොනු ඇතුළත් කිරීමේ අවශ්‍යතාවය සඳහා මෘදුකාංග පද්ධතියක් අවශ්‍ය වූයේ 2018 වසරේ ආරම්භයේ සිටය. ඒ සඳහා රජයේ ක්‍රමවේද යටතේ ටෙන්ඩර් කැඳවූ අතර ඒ වෙනුවෙන් ඉදිරිපත් වන සමාගම් අතරින් හොඳම සහ එම අධිකාරියට අවශ්‍ය පහසුකම සැපිරිය හැකි එකම ආයතනය එපික් ලංකා ටෙක්නොලොජිස් සමාගම බවට තෝරා පත්කර ගැනිණි. මෙය එපික් ටෙක්නොලොජිස් සමාගමට අනුබද්ධ ආයතනයකි. කෙසේ වෙතත් මෙකී මෘදුකාංග පද්ධතිය ඖෂධ නියාමන අධිකාරියට අවශ්‍ය වුවද මෙහි සියලු කළමනාකරණ කටයුතු, අවශ්‍ය මගපෙන්වීම් සහ අවශ්‍ය උපදෙස් සියල්ල ලබාදෙන්නේ ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණික නියෝජිත ආයතනය හෙවත් අයි.සී.අයි.ටී.ය විසිනි. සරලව කිවහොත් ටෙන්ඩර් මණ්ඩලයේ සිට මෙම මෘදුකාංගය නිමවන තෙක්ම අයි.සී.අයි.ටී.යට මෙහි බලය පැවරිණි. වෙනත් දෙයක් නිසා නොව රජයේ සියලුම තාක්ෂණික වැඩවල බලය ඔවුන්ට පැවරී ඇති බැවිනි.
ඒ අනුව ඖෂධ නියාමන අධිකාරියට අවශ්‍ය මෘදුකාංග පද්ධතිය එපික් ලංකා ටෙක්නොලජිස් ආයතනය විසින් 2018 අප්‍රේල් මාසය වන විට නිමවා බාරදෙනු ලැබීය. එසේ බාරදුන් පසුවද අධිකාරිය විසින් අයි.සී.අයි.ටීය හරහා මෙම මෘදුකාංගය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර එය අධිකාරියේ අවශ්‍යතාවය අනුව සීයට සීයක්ම නිවැරදි ලෙස සකසා ඇති බවට එපික් ආයතනයට සහතික කර තිබිණි. ඉන් පසුව ඖෂධ නියාමන අධිකාරිය එම මෘදුකාංගය තුළ සිය කටයුතු කරගෙන ගොස් ඇති අතර එපික් ආයතනය එහි නඩත්තු කටයුතු කරගෙන ගියේය. වාර්ෂිකව එම මෘදුකාංග පද්ධතියේ නඩත්තු කටයුතු සිදු කළ යුතු වුවත් යම් යම් තාක්ෂණික ගැටලු දෛනිකව සිදුවන විට එය නැවත සකසා දීමද සිදුවිය.
පසුගිය ජූලි 6දා ඖෂධ නියාමන අධිකාරිය මගින් එම මෘදුකාංගයට අයත් කෙටි පණිවිඩ හුවමාරු තීරුවකට කෙටි පණිවිඩයක් දෙමින් අධිකාරියේ අයකු සඳහන් කර ඇත්තේ ඔවුන් විසින් පැවැත්වූ රුස්වීමකින් පසුව යම් සිරවීමක් සිදුවී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදු කරන ලෙසය. සුපුරුදු පරිදි එපික් ආයතනය මගින් එම පණිවිඩය හේතුවෙන් මෘදුකාංග පද්ධතිය තුළ නඩත්තු කටයුතු සිදු කර ඇත. එම නඩත්තු කටයුත්තෙන් පසුව එපික් ආයතනයේ ඉංජිනේරුවරයා ඉන් ඉවත් විය.
මෙහි බරතළම සිද්ධිය වන්නේ ඊට පසුදාය. එනම් මෘදුකාංගයේ කෙටි පණිවිඩ හුවමාරු ස්ථානය තුළ අධිකාරියේ නිලධාරීන් දන්වා ඇත්තේ මෘදුකාංගයේ තිබිය යුතු ෆයිල් කිසිවක් නොපෙනෙන බවය. වහාම එපික් ආයතනයේ ඉංජිනේරු කණ්ඩායමක් මැදිහත්ව මේ සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදු කළ අතර එහිදී අනාවරණය වූයේ එම මෘදුකාංගයේ සංරක්ෂිතව තිබූ දත්ත නොපෙනී ගොස් ඇති බවය.
ඒ අනුව මේ සිද්ධිය සමාජගත වන්නේ මෙය ඉතාම බරපතළ දූෂණයක් ලෙසය. එසේ නැතහොත් සැලසුම් සහගත ක්‍රියාවක් බවය. සෞඛ්‍ය අංශයේ වෘත්තීය සමිති සාමාජිකයන් විසින් මේ සම්බන්ධයෙන් සිදු කරන යම් යම් ප්‍රශ්න කිරීම්වල පදනම එයයි. විශේෂයෙන් මෙරටට ඖෂධ මිලදී ගැනීම්, ඖෂධ වර්ග, ඖෂධ ලබාදෙන සමාගම්වල ලියාපදිංචිය ආදිය සටහන්ව ඇති මෘදුකාංග පද්ධතියක් මැකී යාම කිසිසේත් බරපතළ සිදුවීමක් බව අමුතුවෙන් කිව යුතු නැත. මේ දිනවල ඖෂධ, ඇන්ටිජන්, පීසීආර් සම්බන්ධයෙන් විවිධ ආයතන වෙත චෝදනා එල්ල වන විට මෙවැනි දෙයක් සිදුවූ පසු සැක මතුවීම පුදුමයක් නොවේ.
අපි මේ සිදුවීමේ ඇත්ත කතාව සොයා බැලුවෙමු. අනාවරණය වී ඇති ආකාරයට වරද සිදුවී ඇත්තේ එපික් ආයතනයේ ඉංජිනේරුවරයකුගේ අත්වැරදීමකින් බව ඔවුහු කියති. ප්‍රධාන දත්ත ගබඩාවට පිටතින් වූ ඇමුණුම් ගොනු ගබඩාවේ ඇමුණුම් මැකී ගොස් ඇත්තේ එම නඩත්තු කටයුතු කර අවසානයේ ලබාදුන් වැරදි පණිවිඩයක් හරහාය. අනවශ්‍ය දේවල් මකා දැමීමට නියෝග ලබාදිය යුතු වුවත් එම මෘදුකාංග ඉංජිනේරුවරයා වැරදීමෙන් සියල්ල මකා දැමීමේ නියෝගය ලබා දී තිබේ. එය වැරදීමකින් සිදුවූ දෙයක් බව එපික් ආයතනය විසින් ඖෂධ නියාමන අධිකාරියට දැනුම් දී ඇත. එහෙත් එය පිළිගත නොහැක. එතරම් බරපතළ වැරුද්දක් විය හැකිද යන්න ඕනෑම අයකුට ඇතිවන ගැටලුවකි. ඒ නිසා මේ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් අවශ්‍ය බව අමුතුවෙන් කිව යුතු නොවේ. පුදුමය නම් මේ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලා අපරාධ පරීක්ෂණ ආයතනය වෙත යන්නේ එපික් ආයතනය බැවිනි. ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ජූලි 23 වැනිදා රහස් පොලීසියට ඉදිරිපත් කරන්නේද එම ආයතනමය.
එම පැමිණිල්ලට අනුව රහස් පොලීසිය විසින් පරීක්ෂණ පවත්වන අතරතුර එපික් ආයතනය විසින් දැනුම් දී ඇත්තේ මෙම මැකී ගිය දත්ත නැවත ලබාදිය හැකි බවය. එය අධිකාරියට ඉතාම සහනයක් විය. මැකී ගිය දත්ත නැවත ලබාගත හැකි නම් මේ ප්‍රශ්නය නිමවී ගොසිනි. එසේ නම් එකී දත්ත නැවත ලබාගෙනද? නැත. එය සිදුකිරීමට නොහැක. අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළ පසුව දැනුම් දී ඇත්තේ ලංකා රාජ්‍ය ක්ලවුඩ් යටිතලයේ ස්ථාපිත ඖෂධ නියාමන අධිකාරියේ මෘදුකාංග පද්ධතියට ඇතුළු නොවන ලෙස වාරණය කරන බවකි. ඒ අනුව මේ වන විට රහස් පොලිස් පරීක්ෂණ අනුව කිසිවකුට ඊට ඇතුළුවීමේ අවකාශයක් නොමැත. එබැවින් දැන් දේශපාලන පිටියේ නොයකුත් කතාය. වෘත්තීය සමිතිවල විවිධ කතාය. ඖෂධ නියාමන අධිකාරියේද විවිධ කතාය. මේ අතරතුර මෙතෙක් ප්‍රසිද්ධියේ අදහසක් ඉදිරිපත් නොකළ එපික් ටෙක්නොලොජිස් ආයතනයෙන් අප කරුණු විමසූ අතර එහි සභාපති ආචාර්ය නයන දෙහිගම මහතා මෙලෙස අදහස් කළේය.
ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නේ?
වෙලා තියෙන්නේ මේන් ඩේටා බේස් එකට පිටින් තියෙන ඇමණුම් මැකී ගිහින් තියෙනවා.
දැන් කිසිම ඩේටා එකක් නෑ?
නෑ තියෙනවා. මේන් ඩේටා ටික තියෙනවා. ඒකට පිටින් තියෙන ඇමණුම් මැකිලා තියෙන්නෙ.
වැරුද්ද කාගෙද?
දැනට අපි සීඅයිඩී පැමිණිල්ලක් දාලා තියෙන්නේ. ඒ අයත් පරීක්ෂණ කරනවා. අධිකරණයෙන් වාරණ නියෝගයක් පවා තියෙනවා. ඒ නිසා ඒ ගැන මට කියන්න බෑ.
ඒ කියන්නේ ඔබ දන්නවා?
ඔව්.. අපි පරීක්ෂණයකින් ඒක තහවුරු කළා.
ඇත්තද මේකට තුන්වැනි පාර්ශ්වයක් සම්බන්ධ වුණා කියන්නේ?
නෑ. මේක නඩත්තුවෙදි වුණු දෙයක්. තුන්වැනි පාර්ශ්වයකට ගිහිල්ලත් නෑ කිසිම තොරතුරක්. මැකිලා විතරයි. ඒක අත්වැරදීමක්.
එහෙම කියලා බේරෙන්න පුළුවන්ද ඔබලට?
නෑනේ. සීඅයිඩීයට පැමිණිලි දැම්මේ, මේ ගැන පරීක්ෂණයක් පවා කළේ අපි. අපිට බොරු කරන්න ඕන නෑ. අනික අපිට මේ අතුරුදන් සියල්ල ලබාදීමේ හැකියාව තියෙනවා.
ඇයි ඒක නොකරන්නේ එහෙනම්?
වාරණයක් තියෙනවනේ අධිකරණයෙන්. අපි මේක නැවත ලබාගන්න දෙස් විදෙස් කණ්ඩායම් දෙකක් ලෑස්ති කරගෙන හිටියේ. ඒ දේවල් කරන්න සූදානම් වෙලා ඉන්නකොට තමයි ඒ වාරණය අපිට දැනුම් දුන්නේ.
ඔබේ ආයතනයට ඒ මැකුණු තොරතුරු ලබාදෙන්න පුළුවන්ද?
අපි ඒකට කටයුතු ලැස්ති කරලා තිබුණේ.
ඖෂධ ලබාදෙන ආයතනවල ලියාපදිංචි තොරතුරු, අනෙකුත් විස්තර නෑලු නේද?
නෑ. ඒක බොරු කතාවක්. ඒ සියල්ල තියෙනවා.
ඇත්තමද කියන්නේ?
ඔව්… ඕනම වෙලාවක අපි පෙන්නන්නම් අදාළ තැන්වලට.
සාමාන්‍යයෙන් බැකප් එකක් තියෙන්න එපැයි?
ඇත්තටම මෙතන නැත්තේ ඩිසාස්ටර් රිකවරි බැකප් එකක්. ඒකයි ගැටලුව.
ඒක ඇයි නැත්තේ?
ඒක අපේ වරදක් නෙමෙයි. ඒ වගකීම අපිට නෑ. අපිට තියෙන්නේ මෘදුකාංගය සකසා දීම පමණයි. එහෙම දෙයක් ඕන කිව්වා නම් අපි ඒකත් හදනවා.
ඒ කියන්නේ අධිකාරියේ වරද?
ඒ ගැන කතා කරන්න කැමැති නෑ.
ඔබලා රජයේ ආයතනවලට තවත් සේවා සපයනවද?
ඔව්.. මේ රටේ ප්‍රධාන ආයතන රුසකට සපයනවා.
ඒ ගැන කියන්න පුළුවන්ද?
බෑ. සමාවෙන්න. මට තවත් මේ ගැන කතා කරන්න බෑ අධිකරණ කටයුතු නිසා.
මේ සිද්ධියේ කරුණු 2ක් අපට සැකයි
වෛද්‍ය රසායනාගාර වෘත්තියවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ්
ඇත්තටම ඖෂධ නියාමන අධිකාරියේ ක්‍රමවේදය සහ වැඩ කටයුතු ගැන අපට පසුගිය කාලයේ ලොකු ප්‍රශ්න ගොඩක් තිබුණා. ඒ අය අලුත් ඖෂධ, අලුත් නිෂ්පාදනවලට ඉඩ ලබාදීම වගේ වැඩ කටයුතු අවුල් සහගතයි. ඒකට හොඳම උදාහරණය ඇන්ටිජන් කට්ටල ගේන්න ගිහින් සිදුවන ගැටලුව. ඒ විතරක් නෙමෙයි සිනොෆාම් එන්නත ගේන්න ගිය වෙලාවේ ඇතිවුණු ගැටලු. මේ සියල්ල පසුපස විශාල කාර්යයක් ඖෂධ නියාමන අධිකාරිය කරනවා. ඉතින් අපි මුල ඉඳලා මේ අධිකාරියේ ගැටලු ගැන ඇමැතිවරයාට ලිව්වා. මොකද ලංකාවේ පළවෙනි වතාවට ඒ අධිකාරිය වෙනුවෙන් ඇමැතිවරයෙක් ඉන්නේ.
ඉතින් එහෙම තියෙන මොහොතක තමයි මේ ඩේටා ඩිලිට් වෙන්නේ. මේක ගැන අපිට සැක කාරණා දෙකයි. එකක් ඖෂධ නියාමන අධිකාරියේ බලපෑම මත එක්කෝ අදාළ පෞද්ගලික සමාගමේ කෙනෙක් මේක ඩිලිට් කළා. නැත්නම් මුදල්වලට කළා. දෙක බාහිර කණ්ඩායමක් ඇතුළට ඇවිත් මේ දේ කළා. මේ දෙකෙන්ම වෙන්නේ මේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක්. ඊටත් වඩා මතක තියාගන්න මේ ඖෂධවල අඩංගු ද්‍රව්‍ය ගැන පවා මේ වාර්තාවල තියෙනවා. මේවා නිකම් හරි එළියට ගියොත් ආයේ ඒ ඖෂධ සමාගම් අපට ඖෂධ ලබා දෙන්නේ නෑ. ඒ වගේම අපිට අනිවාර්යයෙන් අනාගතයේ ඖෂධ හිඟයක් ඇතිවෙන්න පුළුවන්. මේ ඖෂධ මිලදී ගැනීම්වල තරගකාරීත්වය නිසා මේ වගේ දේවල් වෙන්න බැරිකමක් නෑ. ඒ නිසා අපි කියන්නේ ස්වාධීන පරීක්ෂණයක් අනිවාර්යයෙන් අවශ්‍යයි. හැබැයි මේ ගැන හෙළි කරන අය සීඅයිඩී අරන් ගියාට මේවාට සම්බන්ධ අය ගෙනියන්න හදිසි නෑ. ඒකයි ලොකුම ප්‍රශ්නය.