මහ බැංකු අධිපති ධූරයෙන් තමන් විශ්‍රාම ගන්නා බව දේශමාන්‍ය මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා පවසයි.

(සැප්. 10) විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය. 

ඒ අනුව, එලඹෙන 14 වන දා තමන් විශ්‍රාම ගැනීමට අපේක්ෂා කරන බව ලක්ෂ්මන් මහතා එහිදී සඳහන් කළේය.

ලබන මාසයේ 80 වන උපන් දිනයේදී විශ්‍රාම යාමට තමන් තීරණය කර සිටිය ද පසුගිය සතියේ සහ සති කිහිපයේ ඇතිවූ සිත් රිදවීම් තමාගේ විශ්‍රාම යාම ඉක්මන් කළ බව ඔහු එහිදී සඳහන් කළේය.

“මෙලෙස මා විශ්‍රාම ගනුයේ ශ්‍රී ලංකාවේ ඇති ඉතා වැදගත් හා ගෞරවනීය තනතුරකින්. එම තනතුරෙහි ලා මට පැවරී තිබුණු වගකීම් නොපිරිහෙලා ඉටු කිරීමට රෑ දවල් දවල් නොබලා වෙහෙසෙමින් කටයුතු කරලා තිබෙනවා. එහෙත් අපගේ පාලනයෙන් බැහැරව පවත්නා බොහෝ ස්වාභාවික හා මානුෂික බලවේග හේතු කොට ගෙන අපි අපේක්ෂා කළ ප්‍රතිඵල හැම විට ම ඒ ආකාරයෙන් ම ලැබුණේ නැහැ. 

මෙහි ලා සඳහන් කළ යුතු ප්‍රධාන ම කරුණ ඔබ දන්නා පරිදි මා වැඩ භාර ගෙන මාස තුනකින් 2020 මාර්තු මස සිට බලපවත්වමින් පැවති කොවිඩ්-19 වසංගත රැලි. මෙහි ලා බලපෑ තවත් බොහෝ මානුෂික හා ආයතනික කාරණාත් තිබුණා. මේ දුෂ්කරතා මැද්දේ වඩාත් යහපත් ප්‍රතිඵල සඳහා කළ යුතු ප්‍රතිපත්ති වෙනස්කම් ගැනත් සිතමින් මානසික පීඩනයෙන් පසු කළ දින ගණන් බොහෝයි. 

ඒ නිසා ඇත්ත වශයෙන් ම, මෙලෙස මහ බැංකු අධිපති තනතුර අත්හැරලීමට සිදුවීම ගැන මා හා මගේ හිතවතුන් හිතන්නේ සැඟවී පැමිණි ආශිර්වාදයක් ලෙසයි.”