මේ වෙලාවේ රටට අවශ්‍ය, මිනිස්සුන්ට ජීවත්වීමේ මංතීරුව හදන එකක් මිස ,ඇවිදින මංතීරු හදන එක නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසනවා.

මේ වෙලාවේ රටට අවශ්‍ය,දරුවන්ගේ අධ්‍යාපනය නංවන මන්තීරුව හදන එක මිස,ඇවිදින මංතීරු හදන එක නොවන බවත්,මේ වෙලාවේ රටට අවශ්‍ය,ගොවි ජනතාවට තමන්ගේ කෘෂිකර්මාන්තය ගොඩනඟන මන්තීරුව හදන එක මිස,ඇවිදින මංතීරු හදන එක නොවන බවත්,එපමණක් නොව මේ වෙලාවේ අවශ්‍ය ජීවත්වීමේ මාර්ග අහිමි වෙච්ච මිනිස්සුන්ට ජීවත්වීමේ මන්තීරුව හදන එක මිස ,ඇවිදින මන්තීරුව හදන එක නොවන බවත් විපක්ෂ නායකතුමා පැවසනවා.

රෝහල්වලට  අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීමේ විපක්ෂයෙන් හුස්මක් 28 වන අදියරට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසුවා.

කොරෝනා ව්‍යසනයට අමතරව රට ඉදිරියේ මහා සාගතයක සහ, දැවැන්ත ආර්ථික බංකොලොත් බවක පෙරනිමිති ඇස් ඉදිරියේ තිබියදීත් ආණ්ඩුව කොමිස් ව්‍යාපෘතිවල නියැලෙමින් මිනිස් ජීවිත සමග සෙල්ලම් කරන බවද ඒ මහතා පැවසනවා.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක “විපක්ෂයෙන් හුස්මක්” වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන ‘ජන සුවය’ ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 28වන පියවර ලෙස අද (26) රුපියල් තිස්ලක්ෂ විසිපන් දහසක් (රු. 3,025,000) වටිනා අත්‍යවශ්‍ය රෝහල් උපකරණ පොතුවිල් මූලික රෝහලට  පරිත්‍යාග කරනු ලැබුවා.

ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් රුපියල් දොලොස් ලක්ෂ විසිපන් දහසක් (රු. 1,225,000) වටිනා High Flow Oxygen Unit යන්ත්‍රයක්, රුපියල් ලක්ෂ හයක් (රු. 600,000) වටිනා 5 Function ICU Bed යන්ත්‍රයක් හා රුපියල් දොලොස් ලක්ෂයක් (රු. 1,200,000) ව්ටිනා Defibrillator යන්ත්‍රයක් මෙලෙස පරිත්‍යාග කරනු ලැබුවේ පොතුවිල් මූලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය  මොහොමඩ් රිෆාස් මහතා වෙතයි.

අම්පාර දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ ආසන සංවිධායක හසන් අලි, එහි සම සංවිධායක ගයාන් දර්ශන, ලාහුගල ප්‍රාදේශීය සභා මන්ත්‍රී පාඨලී රෝහණ ජයන්ත, ලාහුගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ආර්.චන්ද්‍රසේන ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන පීඩාවට පත් ජනතාවට සෞඛ්‍යමය සහන සලසනු වස් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම, සංවිධායකයින්, සාමාජිකයින්, සමගි ජන බලවේගයේ විදේශීය ශාඛා, දෙස් විදෙස් ආධාරකරුවන් සහ “ජනසුවය” ව්‍යාපෘතිය එක්ව “විපක්ෂයෙන් හුස්මක්” වැඩසටහන ක්‍රියාත්මක කරනවා.

මීට පෙර වට 27ක් තුල ලක්ෂ 806ක (රුපියල් 80,609,000) රෝහල් උපකරණ ලබාදීමට සමගි ජනබලවේගය කටයුතු කරනු ලැබුවා.