සංහිදියාව, වගවීම සහ මානව හිමිකම්වලට අදාළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46/1 යෝජනාවේ කරුණු ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකාවට බලකර සිටින බව යුරෝපා සංගමය පවසයි.

කෙසේවෙතත් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටලු සඳහා සිදුකරන බාහිර අතපෙවීම්වලට විරුද්ධ වන බව චීනය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අමතමින් ප්‍රකාශ කර සිටියේය.

ශ්‍රී ලංකාවේ හදිසි නීති රෙගුලාසි මත සිවිල් කටයුතුවලදී හමුදාවේ කාර්යභාරය තවදුරටත් පුළුල්වීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බව මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ මහත්මිය 48 වන මානව හිමිකම් සැසිවාරය අමතමින් සඳහන් කර තිබුණි.

ඊට ප්‍රතිචාර දක්වමින් විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ මානව හිමිකම් සැසිවාරය අමතමින් සඳහන් කළේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය යෝජනා කර ඇති 46/1 යෝජනාව ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කරන බවය.

කෙසේවෙතත් යුරෝපා සංගමය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඇමතූ ස්ලෝවේනියානු නියෝජිත අනීටා පිෆන් අවධාරණය කර සිටියේ සංහිදියාව, වගවීම සහ මානව හිමිකම්වලට අදාළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46/1 යෝජනාවේ කරුණු ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකාවට බලකර සිටින බවය.

ශ්‍රී ලංකාව පසුගිය අර්බුද සම්බන්ධ ගැටලුවලට විසදුම් සෙවීමේදී එක්සත් ජාතීන්ගේ සැලසුම් රාමුවට සහාය නොදැක්වීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කනගාටුව පළ කරන බව යුරෝපා සංගමයේ නියෝජිතවරිය මෙහිදී ප්‍රකාශ කළාය.