සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජන් රාමනායකට සමාව ලබාදෙන්නැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතංග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත.

එම ලිපියේ මෙසේ සඳහන් වේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පියෙකුද වන රංජන් රාමනායක මහතා 2021.01.12 දින සිට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත වසර 04 ක සිරදඬුවමකට ලක්ව සිටී. රංගන ශිල්පියෙකු, සමාජ සේවකයෙකු මෙන්ම දේශපාලඥයෙකු ලෙසද ඔහු බොහෝ දෙනෙක් නොකරන ලෙස, මෙරට පොදු ජනතාව වෙනුවෙන් අවංකව කැපවී කටයුතු කරමින්, සිය පෞද්ගලික ධනය පවා අහිංසක අයගේ සුභසිද්ධිය වෙනුවෙන් වැය කරන පුද්ගලයෙකි.

බරපතල වැරදි නිසා අධිකරණයෙන් සිරදඬුවම් ලබාදුන් කිහිප දෙනෙකු කෙරෙහි අනුකම්පාවෙන් ඔබ රජයෙන් නිදහස ලබාදුන් නිසා, එතරම් බරපතල නොවන චෝදනාවකට රංජන්ට මෙලෙස දුක් විඳීමට සිදුවීම අවාසනාවන්ත කරුණක් බව ඔබතුමාද පිළිගන්නා බව මම විශ්වාස කරමි.

මේ වනවිට මාස 8කට ආසන්න කාලයක් සිරගතව පීඩා විඳින රංජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබාදීමට කාරුණික වන මෙන් හිටපු රාජ්‍ය නායකයෙකු සහ මේ රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකු ලෙස මම ඉතා ඕනෑකමින් ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි.