පාස්කු ප්‍රහාරය සම්බන්ද සත්‍ය යටගැසීමේ කුමන්ත්‍රණයක් ඉතා සූක්ෂම අයුරින් වර්තමාන ආණ්ඩුව සිදුකරමින් සිටින බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් උතුමාණන් පවසනවා.

අද (08) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් උන්වහන්සේ සඳහන් කළේ මේ වන විට ආණ්ඩුවද ජාත්‍යාන්තරයට ගොස් පාස්කු ප්‍රහාරයට සුදු හුණු ගෑමේ අළුත් ව්‍යාපෘතියක නිරතවීමට සූදානම්වන බවයි.

ඒ සඳහා වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත් විදේශ අමාත්‍ය ජී.ඇල්.පීරිස් මහතාත් ඉතාලිය බලායෑමට සූදානමින් සිටින බවට කාදිනල් උතුමාණන් පවසනවා.

මෙහිදී කාදිනල් උතුමාණන් සදහන් කළේ අග්‍රාමාත්‍යවරයාත්, ජී.ඇල්. පීරිස් මහතාත් ඉතාලියට ගොස් එහි බොලොඤ්ඤා නුවර පැවැත්වෙන සමුළුවකදීත් ඉන් අනතුරුව වතිකානුවට ගොස් ශුද්ධෝත්තම ෆැන්සිස් පාප්වහන්සේත් බැහැදැක වත්මන් රජය විසින් ක්‍රියාත්මක කෙරෙන වැරදිකරුවන්ට දඩුවම්දීමේ වැඩපිළිවෙලක් පිළිබදව දැනුවත්කිරීමට බලාපොරොත්තුවන බවයි.

එමෙන්ම පාස්කු ප්‍රහාරයෙන් මියගිය හා හානියට පත්වූ පුද්ගලයින්ට රජයෙන් සැලසූ සහන පිළිබදවද මෙම සංචාරයේදී ජාත්‍යාන්තර ප්‍රජාව දැනුවත් කිරීමට මොවුන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද කාදිනල් උතුමාණන් පෙන්වා දෙනවා.

මෙරට ජනතාවගේ බදු මුදල්ද යොදවා ගනිමින් අග්‍රාමාත්‍යවරයා හා ධූත පිරිස පිටත්ව යන මෙම සංචාරය ප්‍රයෝගකාරී ගමනක් බවට කාදිනල් උතුමාණන් පවසනවා.

අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරය තමන් දැඩිව හෙළා දකින බවත් මෙම සංචාරය මගින් අගමැතිවරයා ඇතුළු පිරිස සිදුකිරීමට උත්සහ කරන්නේ සත්‍යය යටගැසීමේ ක්‍රියාවලියක් බවත් කාදිනල් උතුමාණන් වැඩිදුරටත් සදහන් කරනවා.