කාබනික පොහොර, වගාවන්ට යොදන්න ආණ්ඩුව ගත්ත ප්‍රතිපත්ති තීරණය නිසා පහුගිය කන්නයේ ගොවීන් පත් වූ තත්ත්වය දැන් රහසක් නොවේ.

මීළඟ කන්නයේ අඩුවක් නැතුව කාබනික පොහොර දෙන බවට කෘෂිකර්ම ඇමතිවරයා දැන් පොරොන්දු වී ඇත.

මේ වනවිට ක්විංඩාවෝ සීවින් බයෝටෙක් කියන චීන සමාගමට අපේ රටේ කාබනික පොහොර ගෙන්වන ටෙන්ඩර පිරිනමා තිබේ.

චීන සමාගම මේ කාබනික පොහොර හදන්නේ මුහුදෙන් ගන්න පැළෑටිවලිනි.

මේ පොහොර සාම්පලයක් අපේ රටට ගෙන්වලා ශාක නිරෝධායන සේවයට යවලා පරීක්ෂා කළ අවස්ථාවේ හෙළිවුයේ, අර්වීනියා කියන අහිතකර බැක්ටීරියාව මේ පොහොර සාම්පලයේ අඩංගු බවය.

මේ බැක්ටීරියාව සුළුවෙන් තැකිය හැකි එකක් නොවෙයි.

මේ පිළිබඳව අදහස් දැක් වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ ශාඛ ආරක්ෂණය පිළිබඳ මහාචාර්ය දේවිකා ද කොස්තා,

අර්වීනියා විශේෂ බොහොමයක්ම හඳුනාගෙන තියෙන්නේ කෘෂිකර්මයට බොහෝ බලපෑම් කළ හැකි ඉතාමත්ම දරුණු ගණයේ ශාඛ ව්‍යාධිජනකයෙක් හැටියට. එහෙම කෙනෙක් හිටි හැටියේ විශාල වශයෙන් අලුත් පද්ධතියකට එකතු වෙනවා කියලා කියන්නේ එතන එකක්, ස්වභාවිකව තිබුණු තත්ත්වයේන අසමතුලිතතාවයක් ඇති වෙනවා. මේ බැක්ටීරියාවල තියන තවත් වැදගත්කමක් තමයි අපිට ආර්ථිකව වටිනාකමක් තියන විශාල බෝග පරාසයකට අර්වීනියාවලට රෝග බෝ කිරීමේ හැකියාවක් තියනවා. එළවළු බෝග විශාල ප්‍රමාණයක් ඒ වගේම අල බෝග ක්ෂේත්‍ර බෝග මල් හා විසිතුරු බෝග ඒ වගේ විශාල පරාසයක තියන ආර්ථික බෝගවලට රෝග ඇති කිරීමේ හැකියාවක් තියනවා මේ බහුතරයක් අර්වීනයා විශේෂවලින්. මේ රෝග ශාඛ ක්ෂේත්‍රයේ පවතින අවස්ථාවේ විතරක් නෙවෙයි පසු අස්වනු හානිවලටත් බහුල ලෙස බලපානවා.