මතුපිට උද්ධමනය, ජූලි මාසයේ පැවති සියයට 5.7හි සිට 2021 අගෝස්තු මාසයේ දී සියයට 6.0 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් මේ සඳහා හේතුවූ බවයි මහා බැංකුව නිවේදනය කළේ.

මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 ජූලි මාසයේ පැවති සියයට 11.0හි සිට 2021 අගෝස්තු මාසයේ දී සියයට 11.5 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 ජූලි මාසයේ පැවති සියයට 3.2හි සිට 2021 අගෝස්තු මාසයේ දී සියයට 3.5 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආහාර සහ ආහාර නොවන කාණ්ඩවල අයිතමවල මාසික වෙනස්වීම් පිළිවෙළින්, සියයට 0.21ක් සහ සියයට 0.06ක් ලෙස වාර්තා වී තිබෙනවා.

ඒ අනුව, ආහාර කාණ්ඩයේ නැවුම් මත්ස්‍ය, පලතුරු, සීනි සහ කුකුල් මස් මිල ගණන් ඉහළ ගිය අතර, සහල් සහ පොල් මිල ගණන්හි පහළ යෑමක් වාර්තා වූ බවයි මහා බැංකුව නිවේදනය කර ඇත්තේ.

මේ අතර, ප්‍රධාන වශයෙන් සෞඛ්‍ය (පෞද්ගලික රෝහල්/ සාත්තු නිවාස ගාස්තු) සහ ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ සහ ගෘහ ඒකක නඩත්තු යන උප කාණ්ඩවල මිල ගණන් ඉහළ යෑම් හේතුවෙන්, ආහාර නොවන කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්හි ඉහළ යෑමක්, මාසය තුළ දී වාර්තා වී තිබෙනවා.