අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සඳහා පනවා තිබූ සීමා අද (01) සිට ඉවත් කරන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.

ඒ අනුව, අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන ස්වභාවයේ තෝරා ගත් භාණ්ඩ ආනයනය කිරීමේදී 100% ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් පැනවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ගත් තීරණය අහෝසි වනු ඇත.

විනිමය අනුපාතිකයේ ස්ථාවරභාවය සහ විදේශ මුදල් වෙළෙඳපොළ ද්‍රවශීලතාව රැක ගැනීම සඳහා අදාළ සීමා පනවනු ලැබුවේ, සැප්තැම්බර් 09 වන දා ය.

මේ අතර අවශ්‍ය තරම් විදේශ විනිමය ඇති බැවින්, ඉදිරි මාස 6 සඳහා අනවශ්‍ය ලෙස තොග රැස්කර තබා ගැනීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ආනයනකරුවන්ගෙන් ඉල්ලා සිටී.