අවුරුදු 30ට වැඩි එන්නත ලබා නොගත් පුද්ගලයින් ඉදිරි සතියක කාලය තුළ ප්‍රමාදයකින් තොරව කොවිඩ් මර්දන එන්නත ලබා ගන්නා ලෙස ඖෂධ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ඉල්ලා සිටියි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඔහු සඳහන් කළේ, මේ වන විට රටේ සමස්ත ජනගහනයෙන් 51%ක් පමණ ප්‍රතිශතයක් එන්නත් මාත්‍රා දෙක ම ලබා ගෙන ඇති බවය.

“ඒ වගේ ම 20-30 කාණ්ඩයට අයත් අය විවිධ ප්‍රචාරයන්වලට අහුවෙන්නෙ නැතුව ඇවිල්ලා ඉක්මනට ම එන්නත ලබා ගන්න කියන ඉල්ලීමයි කරන්නේ. මොක ද හැම දා ම එන්නත් ගගා ඉන්න බැහැ. මේ කටයුත්ත ඉවර කරල රට සාමාන්‍ය තත්ත්වයට පත් කරල මිනිසුන්ට සමාන්‍ය විදියට ජීවත් වෙන්න අවස්ථාව ලබා දෙන්න ඕන,” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.

“සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාග කල් ගිහිල්ල තියෙනවා. ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු බිඳ වැටිල තියෙනවා. මේ ප්‍රමාදය ජීවිත කාලයට ම දරුවෙක්ට බලපානවා. ඉතින් මේ තත්ත්වයෙන් අපේ දරුවෝ ටික මුදවා ගෙන ඉක්මණට මේ විභාග ටික තියල මේ අධ්‍යාපන කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත් කරල රට යථා තත්ත්වයට පත් කර ගන්නයි අපිට ඕන. දරුවන්ට එන්නත් ලබා දීමේ වැදගත්කම තියෙන්නේ විශේෂයෙන් ම ඒ තත්ත්වයේ. දරුවොන්ට දෙන්නේ Pfizer එන්නත ඒ නිසා ඒක ගැන බියක් වෙන්නේ නැතුව එන්නත ලබා ගන්න කියන ඉල්ලීම අප කරනවා.”

පාසල් දරුවන් සඳහා එන්නත් ලබා දීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ වසංගත රෝග විද්‍යා ඒකකය මේ දිනවල කටයුතු කරන බව චන්න ජයසුමනා මෙහිදී පැවසීය.

“ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් සහ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ගේ අදහස් විමසලා ඔවුන්ට මේ කටයුත්ත සුදානම් කරන්න පුළුවන් පළවෙනි දිනයේදී ම ලබා දෙන්නයි බලාපොරොත්තුවෙන්නේ. ඉදිරි සති දෙක ඇතුළත මේ කටයුත්ත ආරම්භ කරන්න පුළුවන් වෙයි,” යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.