මෙතෙක් පාවිච්චි කළ බොඩි බෑග් තත්ත්වයෙන් බාල බවට නව ටෙන්ඩර් සඳහා පත්කළ තාක්ෂණ ඇගයීම් කමිටුව තීරණය කිරීම නිසා මෘතදේහ බහාලීම සඳහා යොදාගන්නා තවත් ‘බොඩි බෑග්’ 15000ක් මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති අතර බොඩි බෑග් 5000ක් චීනයෙන් ගෙන්වීමට අවසර ලැබී ඇත.

දැනට ටෙන්ඩර් කැඳවූ බොඩි බෑග් 5000ට අමතරව තවත් දසදහසක් සඳහා ටෙන්ඩර් කැඳවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

අලුතින් ටෙන්ඩර් කැඳවූ පන්දහස මෙරටට ගෙන එනතුරු ටෙන්ඩර් කමිටුවෙන් අනුමත නොවූ කලින් සමාගමටම ඒ සඳහා බොඩි බෑග් සැපයීමට අනුමැතිය ලබාදී ඇත.

මේ අතර කොවිඩ් ව්‍යාප්තියත් සමග සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා මිලදී ගැනීමට අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ටෙන්ඩර් කැඳවීමේදී සාම්පල් මාරුකරන ජාවාරමක් අනාවරණය වී ඇත.

සැපයුම්කරුවන් ටෙන්ඩරය සඳහා සපයන සාම්පල් මාරුකර ටෙන්ඩරයට අදාළව දෙන භාණ්ඩ ගුණාත්මකභාවයෙන් අඩුකර දෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොවිඩ් ආරක්ෂිත ඇඳුම් කට්ටල (PPE) වංචාවක් සම්බන්ධව කළ පරීක්ෂණවලදී හෙළි වී ඇත.

බොඩි බෑග් මිලදී ගැනීම සඳහා මේ සතියේ කැඳවූ ටෙන්ඩරයකදී එක් සැපයුම්කරුවකු ඉලක්ක කර ටෙන්ඩරය ලබාදීම සඳහා වෙනත් සමාගමක සාම්පලයක් ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරියකු කළ සැලැස්මක් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමනගේ ප්‍රධානත්වයෙන් තිබූ සාකච්ඡාවකදී අනාවරණය කරගෙන ඇත. මෙසේ වෙනත් සමාගමක සාම්පලයකට ලේබලයක් ගසා ටෙන්ඩරය ලබාදීමට එක් නිලධාරියකු කළ උත්සාහය මෙහිදී වැලකී ගොස් තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරක්ෂිත ඇඳුම් කට්ටල සම්බන්ධව අරඹා ඇති විමර්ශනයකදී වැල්ලවත්තේ පිහිටි අදාළ සමාගමේ ගබඩාවේ ඇත්තේ ටෙන්ඩරයට ලබාදුන් සාම්පලය නොවන බව ද හෙළි වී ඇත.

මේ අයුරින් ටෙන්ඩර්වලදී වෙනත් සාම්පල ලබාදී තොග සැපයුමේදී තත්ත්වයෙන් බාල භාණ්ඩ ලබාදීමටත්, වෙනත් සමාගම්වල සාම්පල මාරුකර ටෙන්ඩර් අනුමත කර ගැනීමටත් දූෂිත නිලධාරීන් පිරිසක් කටයුතු කරගෙන යන බව හෙළිවී ඇත.