පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ ආරක්‍ෂාවට යොදා තිබෙන රළපනාවේ කලුගල් ආදිය ඉවත් කර ඇවිදින මංතීරුවක් ඉදිකිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව සූදානම් වන බව ගොවියෝ චෝදනා කරති.

ගොවි සංවිධානවල විරෝධය නොතකා මෙම ඉදිකිරීම කරන බවද ඔවුහු පැවැසූහ.

පරාක්‍රම සමුද්‍රයේ ප්‍රධාන සොරොව්වේ සිට දෙකේ ඇල සොරාව්ව පසුකර දිසාපති නිල නිවස පිහිටා තිබෙන ස්ථානයට ආසන්නය තෙක් මෙම ඇවිදින මං තීරුව ඉදිකිරීමට සැලසුම් කර තිබෙන බව පරාක්‍රම සමුද්‍රය ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති හා පොලොන්නරුව දිස්ත්‍රික් ඒකාබද්ධ ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති ජගත් අරුණ කීර්ති මහතා ප්‍රකාශ කලේය.

මේ සම්බන්‍ධයෙන් මූලික යෝජනා ඉදිරිපත්වූ අවස්ථාවේ පටන්ම තම ගොවි සංවිධානය එයට විරෝධය පළකල බව ඒ මහතා කීය. එහෙත් එම විරෝධය නොතකා එහි ඉදිකිරීම් ආරම්භකර ඇතැයිද හෙතෙම පැවැසීය.

මේ සම්බන්‍ධයෙන් පරාක්‍රම සමුද්‍රය වාරිමාර්ග ඉංජිනේරු අසේල උදයංග මහතාගෙන් කළ විමසීමකදී  ඔහු කියා සිටියේ නාගරික සංවර්ධන අධිකාරියේ ඉල්ලීමකට අනුව එම ආයතනයේ රුපියල් මිලියන 34ක වියදමින් මේ මංතීරුව ඉදිකරන බවයි.

එය කිලෝ මීටර් එකයි මීටර් 700ක දුර ප්‍රමාණයෙකින් යුක්ත බවද ඒ මහතා කීය.මේ වසරේ දෙසැම්බර් මාසය අවසන්වීමට පෙර එය ඉදිකර අවසන් කිරීමට නියමිත බවද ඉංජිනේරුවරයා කීවේය.