ඉතාලියේ G20 අන්තර් සමුළුවට සහභාගී වූ අගමැති මහින්ද රාජපක්ෂ මහතා නවාතැන් ගෙන ඇත්තේ Grand Hotel Majestic gia’ Baglioni හෝටලයේ Presidential Suite එකේලු.

මේ හෝටලයේ වෙබ් අඩවියේ තිබුණ Presidential Suite ඡායාරූප සහ මහින්ද රාජපක්ෂ මහතාගේ ගමනේ ඡායාරූප අපි සංසන්දනය කරලා බැලුවා. දෙක සමානයි. එකම බුමුතුරුණු, බිත්ති අලංකරණ, ගෘහභාණ්ඩ තමයි තියෙන්නේ.

ඉතින් දැන් එතුමා නැවතුණේ ඒ Presidential Suite එකේ නෙවෙයි කියනවා නම්, අඩු තරමේ එතුමා නැවතිලා තියෙන්නේ ඒ වගේම පේන්න හදපු චීප් ලෝකල් කොපි හෝටලේක.

ලොකු හෝටල්වල Presidential Suite එක කියන්නේ ඉහළම, සුඛෝපභෝගීම, ඉස්තරම්ම කාමර පද්ධතිය. මේ හෝටලයේ නම් ‘රෝයල් සූට්’ එකකුත් තියෙනවා. කොහොම නමුත් මේ බොලොඤ්ඤාවේ තවත් එක් හෝටලයක් නෙවෙයි. මේ බොලොඤ්ඤා නගරයේ තිබෙන පැරණි, ගෞරවාන්විත, සුඛෝපභෝගී සහ මිල අධිකම හෝටලය ලෙස සලකන The Grand Hotel Majestic “già Baglioni” හෝටලය.

අපේ අගමැතිතුමා නගරයේ තියෙන ඉහළම හෝටලයේ ඉහළම කාමර සෙට් එකේ නැවතීම අපට ආඩම්බරයක්.

Presidential Suite එකේ නවාතැන් ගැනීමට තුන් දෙනෙකුට එක් දවසකට යුරෝ 3001 අය කරනු ලබනවාලු. ඒක ශ්‍රී ලංකා රුපියල් වලින් 706,651ක් බව booking.lk වෙබි අඩවියේ සදහන්.

මහින්ද රාජපක්ෂ අගමැතිතුමා පවුලේ උදවිය පිරිවරාගෙන ඉතාලියේ බොලොඤ්ඤා නගරයට ගිය ගමන අත්‍යාවශ්‍ය එකක්ද, නැද්ද යන සාකච්ඡාව දිගින් දිගටම ලංකාවේ තියෙනවා. ජගත් කුමාර මන්ත්‍රීතුමා දෙවේලක් හරි කාලා කැපකිරීම් කරනවා කියද්ද්දී රටේ මිනිසුන්ට හාමතේ ඉන්න වෙනවායැයි ඉඟි වෙනවා.

වේලක් නොකා ඉඳීම කොච්චර අසීරුද කියන එක වෙන කුමන හෝ හේතුවක් නිසා කෑම වේලක් මඟහැරුණ අයට වඩා දන්නේ නොකා හාමත් වෙච්ච අය. ඇත්තටම වේලක් නොකා හරි ඉන්න කියා ඉල්ලීමම ඉතා දරුණු කැපකිරීමක් සඳහා ඉල්ලා සිටීමක්.

එවැනි පසුබිමක මහින්ද රාජපක්ෂ අගමැතිතුමා නතර වූ හෝටලයේ කතාව ටිකක් කතා කරන්න වටින එකක්. ඇත්තටම අපි එතුමාව ජජ් කරන්නේ නෑ ඕකට. ඔවුන්ගේ හැටියට ඕක පොඩි දෙයක් වෙන්න ඇති. කමක් නැහැ. ඔහෙ ගිහින් ඉඳපුවාවෙ.

ඒත් අපි කෝකටත් එතුමා හිටියෙ කොතැනද, වියදම කොච්චරද, කොච්චර සුවපහසුවක් විඳිනවද කියල හොයලා බලන්න එපායැ. වේලක් නොකා ඉන්න කියලා අපෙන් ඉල්ලන ආණ්ඩුවක අගමැතිතුමා පවුලෙ අයත් එක්ක ගිහින් හරියට කෑවාද, බීවාද කියලවත් අපි බලන්න එපායැ. ඒ කාපු, බීපු තැන අපේ රටේ ගෞරවයට ගැලපෙන හොඳ තැනක්ද කියල බලන්න එපායැ.

ඒකයි අපි හාරාඅවුස්සලා හෙව්වේ.

මේකේ රෙස්ටුරන්ට් එක නිසාමයිලු හෝටලය ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. මේ ගැන හෝටලයේ වෙබ් අඩවියේම සඳහන්. බොලොඤ්ඤාවේ තිබෙන ‘විදග්ධම සහ ඉස්තරම්ම’ රෙස්ටුරන්ට් එක මේක සලකනවා. මිලාධිකම වයින් වර්ග, ඉතාලියේ ඉස්තරම්ම ආහාර මෙහි ලබාගන්න පුළුවන්. 

අටසිය ගණන්වල ඉතාලියේ හිටපු ප්‍රකටම සංගීතඥයෙක් වන ගිසෙපි වර්ඩිගේ නම යෙදූ ‘ද ගිසෙපි වර්ඩි Presidential Suite’ එක නිදන කාමර, විසික්ත කාමර ඇතුළත් කාමර පද්ධතියක්. මේක වඩාත් ප්‍රසිද්ධව තිබෙන්නේ ප්‍රංශ ආභාසය තියෙන අති සුඛෝපභෝගී, විදග්ධ පෙනුමැති ගෘහභාණ්ඩ නිසයි. දැවැන්ත ඇතුල්වීමේ මාර්ගයත් එක්ක ශෝබනීය විසික්ත කාමරයක් සහිතයිලු. ඒ එක්කම රෙදිවලින් සුමට ඉස්තරම් බිත්ති අලංකාර එහි තිබෙනවා. චාරුමත් කැබිනෙට්ටු දෙකක ඉහළ මට්ටමේ චීන පෝසිලේන් තියෙනවාලු. ඉතා දුර්ලභ මාබල් නාන කාමරයේ ජකූසි එකක් ඇතුළු සියලු පහසුකම් තිබෙන්නේ රාජකීය නෑමේ අත්දැකීමක් ලබාදෙන්න.

උපුටා ගැනීම – සටහන් වෙබ් අඩවිය (තරිදු උඩුවරගෙදර )

මේ ලින්ක් එකෙන් ගිහින් හෝටලේ බලන්න –

https://grandhotelmajestic.duetorrihotels.com/en/luxury-hotel-italy-5-stars-bologna/presidential-suites