කොළඹ වරාය නගරය නැවතත් ජනතාව අතර සාකච්ඡාව සඳහා මාතෘකා සපයා ඇත. ඒ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ මතුවනු ඇතැයි කියන තත්ත්ව සම්බන්ධ චෝදනා එල්ලවීමත් සමගය.

අදාළ පනත හරහා එම භූමී ප්‍රදේශය චීන කොලනියක් වන අතර එය රටේ කොටසක් ලෙස නොව වෙනමම කලාපයක් ලෙස නම් කිරීමක් ලෙසත් ශ්‍රී ලංකාවේ නීතියට පිටින් ක්‍රියාත්මක වන, බදු සහන ලබාදෙමින් කළු සල්ලි සංසරණය වන ස්ථානයක් වනු ඇතැයි යන්න එසේ නැගෙන චෝදනාවලින් කියැවේ.

කෙසේවෙතත් එම චෝදනා ප්‍රතික්ෂේප කරන රජය පවසන්නේ කොළඹ වරාය නගරය චීන කොළනියක් බවට පත්වන බවට ඇතැමුන් කරන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බවය. කොමිෂන් සභාව පිහිටුවන්නේ, ආයෝජකයන්ගේ පහසුව සඳහා සියලු රාජ්‍ය ආයතන එක් ස්ථානයකින් සම්බන්ධීකරණය කිරිම වෙනුවෙන් බව පවසන රජය, මෙම කලාපයට පිවිසෙන විදේශකයින්ට වීසා ලබා දීම බැංකු බලපත්‍ර ලබා දීම ඇතුලු අනෙකුත් සේවා අදාළ ශ්‍රී ලංකා රජයේ ආයතන විසින් මෙරට නිතීයට අනුව ක්‍රියාත්මක කරනු ලබන බව කියා සිටී.