විදේශ ණය ගෙවීමේදී පසුගිය රජයන් සිදු කළ ආකාරයෙන් ණය වාරික ගෙවීම දීර්ඝ කර ගැනීමේ උත්සාහයක වත්මන් රජය නිරත නොවන බවත් එම ණය අඩු කර ගනිමින් ණය නොමැති රටක් බවට පත් කර ගැනීම උත්සහ කරන බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පැවසීය.

මුදල් පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම ඇතුලු පනත් කෙටුම් පත් කිහිපයක් සහ ආනයන සහ අපනයන පාලන පනත යටතේ රෙගුලාසි කිහිපයක් පිළිබද අද (07දා) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

කෙසේ වෙතත් ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතන වලින් මහජනතාවට ප්‍රයෝජනයවත් වන ව්‍යාපෘති සඳහා එළැඹෙන අවුරුද්දේ හැකි තරම් ණය ලබා ගැනීමට කටයුතු කරන බව සඳහන් කළ බැසිල් රාජපක්ෂ,

“ආර්ථික වශයෙන් මෙවැනි අති අමාරු අවස්ථාවක තනියෙන් මේ ප්‍රශ්නය විසදන්න හෝ දේශපාලන වාසි ලබා ගැනීම විපක්ෂයට හෝ වෙන කවුරුන්ට හෝ දොස් කියන්න අපි සූදානම් වෙන්නේ නැහැ.

මෙය කෝවිඩ් වසංගතය තුළින් උග්‍රවෙලා තිබෙනවා වගේම කාලයක් තිස්සේ සමස්ථ ආර්ථිකය තුළ ඇතිවුණ ප්‍රතිඵලයක්. අපි දන්නවා රටේ ආදායම අභිබවා වියදම ඉහල ගිහින් තිබෙනවා.

පසුගිය රජයන් අරගෙන තිබෙන ණය සියල්ල අපිට ගෙවන්න සිදු වෙනවා. ඒ ණය වාරික අපි අතහැරලා නෑ. ඉස්සර අපි කළේ ණය ගෙවන්න තිබෙන එක නැවත දීර්ඝ කර ගැනීමක් කිරීමට ඒ සඳහා අතිරේක පොලියක් ගෙවලා.

නමුත් අපි එවැනි උත්සාහයකට වඩා ඒ ණය සියල්ලක්ම වගේ අඩු කර ගෙන ණය නැති රටක් බවට පත්කර ගන්න උත්සාහයක යෙදෙන්නේ. ලබාගන්නා සෑම ණයක්ම සරල සහනදායී කොන්දේසි මත ලබා ගන්නවා වගේම සහ දේශපාලන කොන්දේසි හෝ රටේ ස්වෛරී භාවයට, ස්වාධීනත්වට හානි නොවන ණය ආදාර ලබා ගැනීම තමයි අපේ ප්‍රතිපත්තිය.

නමුත් අපි විශේෂයෙන්ම කියන්න ඔ්නී අපිත් සාමාජිකත්වය දරණ ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතන වලින් අපි ලබන අවුරුද්දෙත් පුලුවන් තරම් මහජනතාවට ප්‍රයෝජනවත් වන ව්‍යාපෘති සඳහා ණය ලබා ගැනීමට කටයුතු කරනවා.”