සුරාසැල් වසාදමා තිබෙන විට මහජනයා විවිධ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනයට යොමුවන හෙයින් සුරාසැල් විවෘත කළ බව පොදුජන‍ පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසනවා.

ඒ, කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් පසුගිය දිනවලදී නිරෝධායන ඇඳිරි නීතිය පනවා සුරාසැල් ද වසා තැබීම හේතුවෙන් ග්‍රාමීය මට්ටමින් විෂ මත්පැන් නිෂ්පාදනය ඉහළ ගොස් ඇති නිසා එම උවදුරින් ජනතාව බේරා ගැනීම මෙහි මූලික අරමුණ වූ බවයි ඔහු පෙන්වා දෙන්නේ.

කොවිඩ් තත්වය හේතුවෙන් නීතිවිරෝධී මත්පැන් වැටලීමද අසීරු බැවින් සුරාසැල් විවෘත කිරීමෙට තීරණය කළේ කවුරුන්ද යන්න‍ සොයා බැලීමට වඩා වැදගත් වන්නේ විවෘත කළේ කුමන අරමුණක් මත යන්න වටහා ගැනීමට උත්සුක විය යුතු බවටයි ඔහු අවධාරණය කරන්නේ.

තවද, ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් මාධ්‍ය හමුවේ රජයේම මැති ඇමතිවරුන් විවේචනය කිරීම, ඔවුන්ගේ අඩුපාඩු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම යහපත් තත්වයක් නොවන බවත්, ගැටලු පක්ෂය තුළ විසඳා ගත යුතු බවත් වැඩිදුරටත් ඔහු පවසා සිටිනවා.