ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිර්මාතෘ දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ 62වන ගුණ සමරුව අදට (26) යෙදී තිබේ.

ගුණ සැමරුම පැවැත්වුණේ හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසලදීය.

1899 වසරේ ජනවාරි 8 වැනිදා උපත ලද එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා ඝාතනට ලක්වී මිය යන්නේ 1959 වසරේදී අද වැනි දිනකදීය.

ඒ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ වන අතර මෙරට සිව්වන අගමැතිවරයා ද විය.

බණ්ඩාරනායක මහතාගේ දියණියන් වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මිය අද පෙරවරුවේ හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසලදී පුෂ්පෝපහාර දැක්විය.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සඳහන් කළේ,

“පක්ෂය බණ්ඩාරනායකගේ නම විකුණගෙන කෑවා මිසක් කිසිදෙයක් සංවිධානය කළේ නෑ මෙතන. පක්ෂයේ සභාපති ජනාධිපතිවෙලා හිටියනේ අවුරුදු 5ක්. මෙතනට ආවේ 1 සැරයයි. අද නම් එයි. ආයේ බණ්ඩාරනායකලව විකුණගෙන කන්න හදන්නේ.”

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වත්මන් සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පක්ෂයේ සාමාජිකයින් පිරිසක්ද ඉන් අනතුරුව හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසලට පැමිණ පුෂ්පෝපහාර දැක්විය.

එහිදී අදහස් දැක්වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,

“එතුමා ගෙනගිය දර්ශනය සහ වැඩපිළිවෙල ඉදිරියට ගෙනයෑම තමයි අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අද කරන්නේ.”

එමෙන්ම නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ඇතුළු පිරිසක්ද බණ්ඩාරනායක සමාධිය අසලට පැමිණ අද පුෂ්පෝපහාර දැක්වීමට කටයුතු කර තිබුණි.

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා,

“අපි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයො හැටියට පක්ෂයට ආදරෙයි. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැන් පාලනය කරන නායකයොත් සමග අපි එකඟ නෑ. ඒ අය මැරිච්ච බණ්ඩාරනායක මහතාව වර්ණනා කරලා ඒගොල්ලන් ඉදිරියට යන්න බලන්නේ. ජීවත්වෙලා ඉන්න බණ්ඩාරනායකලා දිහා බලන්නේ නෑ.”