”වැරදිලාවත් රටින් හාල් ගෙනාවොත් මම ඇමතිකම දාලා යනවා” යැයි කියූ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ද ”රෙදි ගලවා දමා” යළි සහල් ආනයනය කිරීමට ආණ්ඩුව අවශ්‍ය පියවර ගෙන ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි.

සහල් සම්බන්ධයෙන් මෙතෙක් නිකුත් කර ලැබූ ගැසට් පත්‍ර, ව්‍යාපාරිකයන්ගේ ක්‍රියාමාර්ග හමුවේ යළි සංශෝධනය කරන ආණ්ඩුව ”පාණ්ඩුව හැදී ලෙඩ වුණු තැනක්” යැයි ඔහු පැවසීය.

ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සිදු කළ ප්‍රකාශය මෙසේ ය.

“මේ ආණ්ඩුව අද ක්‍රියාත්මක වෙන්නේ මේ රටේ ජනතාව වෙනුවෙන් ද? ආණ්ඩුවේ දේශපාලන හිතවතුන් වෙනුවෙන් ද? මේ රටේ ව්‍යාපාරිකයින් විදියට පෙනී ඉඳිමින් ජාවාරම්කාරයො විදියට මේ රටේ සාරය උරා බොන අය වෙනුවෙන් ද? කියන කාරණය පැහැදිලි කරගත යුතුයි.

අපි දැක්කා පහුගිය කාල සීමාව පුරාවට ම… හාල් ටික අඩුවට දෙන්න කියලා එක එක කාරණා ගෙනාවා. කෘෂිකර්ම ඇමතිතුමා, බන්දුල ගුණවර්ධන ඇමතිතුමා ප්‍රකාශයන් නිකුත් කළා දඩ මුදල වැඩි කරලා ව්‍යාපාරිකයන්ගේ මේ රටේ ජනතාවට සහන මිලට හාල් සපයන්න පුළුවන් ආකාරයට ක්‍රියාමාර්ග ගත්තා කිව්වා. දැන් මේ වන විට ආණ්ඩුවේ රෙදි ගැලවිලා අර ගැසට් එක නැවත වතාවක් ගැසට් රිවර්ස් කරන වැඩසටහනේ තව ව්‍යාපෘතියක් විදියට හාල් සඳහා පාලන මිල ඉවත් කරලා තියෙනවා. 

අපි අහනවා මේ රටේ ජාවාරම්කාරයොන්ට අවශ්‍ය විදියට ගැසට් පත්‍ර අවලංගු කර ආපස්සට ගන්න තරම් මේ ආණ්ඩුවේ ⁣කශේරුකාවේ ඇට අඩුවෙලා ද? කොන්ද කැඩිලා ද? එහෙම නැත්නම් මේ රටේ ජනතාව මේ විඳින දුක ගැන ආණ්ඩුවට අමතක වෙලා ද? හෙට අනිද්දා වෙන කොට හාල් මිල අහස උසට නගිනවා. වැරදිලාවත් රටින් හාල් ගෙනාවොත් මම ඇමතිකම දාලා යනවා කියපු මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයා⁣ගෙත් රෙදි ගලවලා දාලා අන්න හාල් ආනයනය කරන්න අවශ්‍ය පියවර අරන් තියෙනවා. එතකොට අපිට පේනවා මේක දැන් ආණ්ඩුවක් නෙවේ, මේක පාණ්ඩුව හැදිච්ච ලෙඩ ගොඩක් වෙච්ච තැනක්.”