ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයක් පිහිටුවීම සඳහා පක්ෂ මධ්‍යමකාරක සභාව තීරණයකර ඇති බව එහි ජ්‍යෙෂ්ඨ උපසභාපති රෝහණ ලක්ෂ්මන් පියදාස පවසයි.

මහනුවර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ ඒ සඳහා සියලු ප්‍රගතිශිලි දේශපාලන බලවේග සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත බවය.

“අපි තීරණය කරනු ලැබුවා පක්ෂයේ ඉදිරි ගමන් මාර්ගය මොන වගේද, විකල්ප ආණ්ඩුවක් සඳහා පක්ෂය ගොඩනගන්නේ කොහොමද, ඒ් සඳහා සංවිධානක කටයුතු කරන්නේ කොහොමද කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන් පසුගිය රජයන් යටතේ රජයන් බිහි කිරීමට පදනම් වු සන්ධාන තිබුණා. අපි  නැවතත්  පොදුජන  එක්සත් පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය සක්‍රීය කිරීමට ලංකාවේ සියලුම වාමවාදී දේශප්‍රේමි ජාතිකවාදි පක්ෂ සහ පාර්ලිමේන්තුවෙන් පිටත සිටින පක්ෂත් එකතුකරගෙන එම සන්ධානය ගොඩනැගීම සඳහා වු තීරණයක් මධ්‍යම කාරක සභාවෙන් ගනු ලැබුවා. ඒ් අනුව ඉදිරියේ දී එම කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා. “

කෙසේවුවද රජයේ හවුල්කාර පක්ෂ විසින් යම් තීන්දු තීරණ ගැනීමේ දී සිය පාර්ශවය රජය නියෝජනය කරන බවට අවබෝධ කරගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජේලාල් ද සිල්වා පවසයි.

“නිදහස් ලංකාවේ පෙරමුණු  හදපු  බොහෝ අවස්ථාවල එම සන්ධානවල ගැටලු ප්‍රශ්න ඇති නොවුණා නොවේ. ඒක සලකාබලනකොට මේ දක්වාම මේ සන්ධානය තුළ ඇති වී තිබෙන ගැටලු අවම මට්ටමක තිබෙනවා කියන එකයි මගේ පෞද්ගලික විශ්වාසය. මේ ආණ්ඩුව තුළ ප්‍රධාන දේශපාලන පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ. ඒ ඇරුණු කොට තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඒ් එක්කම ආණ්ඩු පක්ෂ නියෝජනය කරන මහජන නියෝජිතයෙක් කියන එක මම අමතක කරන්නෙත් නෑ. හැබැයි රටේ සහ ජනතාවගේ අශ්‍යතාවය වෙනුවෙන් නිවැරදී තැන හිටගන්නවා.”