රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා බීමත්ව පැමිණ අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන්ට ගිනි අවියක් පෙන්වා තර්ජනය කළේ යැයි සිරකරුවන් තමන්ට සනාථ කළ බව විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පවසති.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු අනුරාධපුර බන්ධනාගාරයේ අද (18) සිදුකළ නිරීක්ෂණ චාරිකාවකින් පසු මාධ්‍යවෙත අදහස් දක්වමින් ඔවුන් මේ බව සඳහන් කළෝය.

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයේ එල්.ටී.ටී.ඊ සැකකරුවන් රඳවා ඇති වාට්ටුව වෙත ගොස් ඉන් දෙදෙනෙකු දණගස්වා ඔවුන්ගේ හිසට ගිනි අවියක් තබා තර්ජනය කළේ යැයි පැවසෙන ආන්දෝලනාත්මක සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙක් අද එම බන්ධනාගාරය වෙත පැමිණියේය.

කෙසේ වෙතත් එහිදි මන්ත්‍රීවරුන්ට එක්වර බන්ධනාගාරයට ඇතුළුවීමට බාධා එල්ල විය. 

මනෝ ගනේෂන් මහතා – “අපි ඇවිල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අපිට යන්න ඕනේ. එන්න මන්ත්‍රීතුමා අපි යමු.”

පොලිස් නිලධාරියා – “මන්ත්‍රීතුමා ඉන්න‍.”

මනෝ ගනේෂන් මහතා – ” පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වරප්‍රසාද තියෙනවා. ඒක කඩන්න එපා.”

කාවින්ද ජයවර්ධන – “රජයේ බදු ගෙවන මිනිස්සුන්ගේ සල්ලිවලින් හෙලිකොප්ටර්වලින් ඇවිල්ලා පිස්සු කෙළියේ නෑ. අනිත් එක බීලා ඇවිල්ලා පිස්සු කෙළියේ නෑ.” 

මනෝ ගනේෂන් – “කථානායකතුමාට ගන්න කෝල් එකක්.”

“කථානායකතුමා මනෝ ගනේෂන්. අපි මේ අනුරාධපුර බන්ධනාගාරයට ආවා. අපිට ඇතුළුවෙන්න ඉඩදෙන්නේ නැ මෙගෝල්ලෝ. ඒ ගෝල්ලන්ට කියන්න දැනුම්දෙන්න කියලා. අපි දැන් පැය භාගයක් විතර මෙතෙන ඉන්නවා.” 

“ශ්‍රී ලංකා පාර්ලිමෙින්තුවේ කථානායකවරයාට වඩා ලොකුවෙනවා ද ඔයගොල්ලෝ. නැහැනේ. කථානායකවරයාගේ නියෝජිතයෝ අපි.” 

අනතුරුව මන්ත්‍රීවරුන්ට බන්ධනාගාරයට ඇතුලුවීමට අවස්ථාව හිමිවුයේ විනාඩි 45කට පමණ පසුවය.