ඊයේ දිනය තුල ප්‍රධාන පුවතක් ලෙස පැතිර ගිය බීමත් රාජ්‍ය අමාත්‍යවරයෙකු වැලිකඩ සිරගෙදරටත්, ඉකුත් 12 වැනිදා අනුරාධපුර සිරගෙදරටත් ගොස් යකා නැටු සිදුවීමට අදාල අමාත්‍යවරයා ලොහාන් රත්වත්ත බව ‘ද ‌මෝනින්ග්’ පුවත්පත අද අනාවරණය කොට ඇත.

ඒ නමුදු වැලිකඩ බන්ධනාගාර ප්‍රකාශකයෙකු ඊයේ දින පවසා තිබුනේ එසේ පැමිණියේ අමාත්‍ය ලොහාන් නොවන බවයි.එමෙන්ම බන්ධනාගාර අධිකාරීවරයාද ඒ පිළිබඳව පැමිණිල්ලක් නොලැබුන බව ප්‍රකාශ කර තිබිණි.

නමුදු ‘ද ‌මෝනින්ග්’ පුවත්පත විශේෂ අනාවණයක් කරමින් පෙන්වා දෙන්නේ එම රාජ්‍ය අමාත්‍යවරයා වෙන කවුරුන්වත් නොව ලොහාන් රත්වත්ත මහතා බවකි.

ඇතැම් මාධ්‍ය කියා සිටියේ මෙම ගමනට හිටපු රූ රැජිනක්ද එක්ව සිටි බවකි.

එමෙන්ම ඊයේ දින සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ ගමගේද වීඩියෝවක් නිකුත් කරමින් රාජ්‍ය ඇමැතිවරයකු හෙලිකොප්ටරයෙන් අනුරාධපුරයට පැමිණ සිරගෙදරට ගොස් ගිනි අවිය පෙන්වා එල්ටීටීඊ සැකකරුවන් දණ ගස්වා තර්ජනය කර ඇති බවකි.

වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයට රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිස පැමිණ ඇති රථය පදවා ගෙන පැමිණ ඇත්තේ මෑතකදී පැවති ආන්දෝලනාත්මක රූ රැජින තරගයේ ජයග්‍රාහිකාවක බව ද එම වාර්තාව තවදුරටත් කියා සිටියි. පාර්ලිමේන්තු මන්ත්‍රී ගජන් පොන්නම්බලම්ද ට්විටර් පණිවුඩයක් තබමින් මේ බව තහවුරු කොට ඇත.