කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරය විකුණා නොමැති බවත්, බලාගාරයේ කොටසක් වෙනුවෙන් ආයෝජනයක් සම්බන්ධ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බවත් විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසයි.

ඒ අනුව විදුලි මිල නියම කිරීම සහ විදුලිය බෙදාහැරීම සිදුකරන්නේ රජය විසින් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

“අපේ මැතිවරණ ප්‍රකාශනයේත් ඇතුළත් කළා රාජ්‍ය සහ පුද්ගලික අංශයේ එකතුවීමෙන් ව්‍යාපාර කරනවා කියලා. මම දන්න තරමින් මේක විකුණලා නෑ. ඒ ව්‍යාපාරයේ කොටසක් තමයි දීලා තියෙන්නේ. 100% රජයට අයිතියි. මුදල් අමාත්‍යාංශයට 50%ක් අයිතියි. ඒ 50%න් 40%ක් දීලා තියෙනවා. ඒක ආයෝජනය කරන්න. එහෙම නැතුව විකිණීමක් කරලා නෑ. රජය තමයි විදුලි මිල නියම කරන්නේ. රජය තමයි සම්පූර්ණ විදුලි බලය බෙදාහරින්නේ. ඒ බලාගාරයේ විදුලිය නිෂ්පාදනය කරත් විදුලිය බෙදාහැරීම කරන්නේ විදුලිබල මණ්ඩලයයි ලෙකො ආයතනයයි. වෙන සමාගමකට විදුලිය බෙදාහරින්න බෑ.”

මේ අතර අමෙරිකාවේ නිව් ෆෝට්‍රෙස් එනර්ජි (New Fortress Energy) සමාගම සිය වෙබ් අඩවියේ සඳහන් කර තිබුණේ, කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරය හිමි වෙස්ට් කෝස්ට් පවර් සමාගමේ 40%ක කොටස් හිමිකරගැනීම සඳහා අදාළ නීතිමය ගිවිසුම අත්සන් කළ බවය.