තමා සිරකරුවන්ට හිංසා කිරීමට තරම් අනුවණ නොමැති බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පවසනවා.

Daily mirror පුවත්පත සමඟ අදහස් දක්වමින් ඔහු පවසන්නේ තමා බන්ධනාගාර වෙත ගිය බව පිළිගන්නා නමුත් තමාට එරෙහිව නැගෙන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.

විෂයභාර අමාත්‍යවරයා ලෙස තමන්ගේ යටතේ බන්ධනාගාර 29ක් සහ පුනරුත්ථාපන මධ්යස්ථාන 2ක් තිබූ බවත් ඒ ඕනෑම ස්ථානයකට ඕනෑම මොහොතක ඇතුළු වීමට තමාට බලය තිබූ බවත් ඔහු පෙන්වා දෙනවා.

තමා කිසිවෙකුට නොදන්වා බන්ධනාගාර වෙත යන්නේ එහි සිදුවන දෑ පිළිබඳව නිරීක්ෂණයට බවත් එසේ තමා බන්ධනාගර තුල සිදුවන නොකටයුතුකම් රාශියක් නවත්වා ඇති බවත් ඔහු පවසනවා.

තමා බන්ධනාගාර භාරගන්නා විට පැවතියේ බන්ධනාගාර ගිණිගන්නා තත්වයක් බවත් එම තත්වය නතර කළ තමා අනුවණ ආකාරයකින් කටයුතු නොකරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා.

එමෙන්ම, තමා බන්ධනාගාර වෙත ගියේ තනිව බවත් වෙනත් කාන්තාවක් හෝ මිතුරන් නොසිටි බවත් තමන් බීමත්ව ද්‍රවිඩ සිරකරුවන්ට පීඩා නොකළ බවත් ඔහු අවධාරණය කර සිටිනවා.

ඉදිරි තීරණය ඇත්තේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සතුව බවත් එතෙක් තමන් මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධූරයේ කටයුතු කරන බවත් ලොහාන් රත්වත්තේ පවසනවා.