බම්බලපිටිය – කොතලාවල ඇවනිව් ප්‍රදේශයේ ඉඩමකට කඩාවැදී එහි ආරක්ෂාවට සිටි පුද්ගලයින් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියට හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලීසිය ප්‍රකාශ කළා.

නගරාධිපතිවරයා සිය මෝටර් රථයෙන් තනිවම එම ස්ථානයට පැමිණ මෙම පහරදීම සිදුකර ඇත්තේ පසුගිය 14 වනදා රාත්‍රියේයි.

සිද්ධිය සම්බන්ධයෙන් පහරකෑමට ලක්වූ ඉඩමේ ආරක්ෂාවට සිටි පුද්ගලයින් දෙදෙනා බම්බලපිටිය පොලීසියට පැමිණිල්ලක්ද කර තිබුණා.

පහරකෑමට ලක්වූ දෙදෙනා එක් අයෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.  

හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දුට මීට පෙර හම්බන්තොට මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කරනු ලැබුවේ 2014 වසරේ අප්‍රේල් 17වනදායි.

ඒ, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් හම්බන්තොට වරාය සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක නිරතව සිටියදී ගල්මුල් වලින් පහරදීම සහ සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා තර්ජනය කිරීම සම්බන්ධයෙන්.

කෙසේ වෙතත් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම වූ හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු ඇප මත මුදා හැරුණේ ඔහු විසින් ඉදිරිපත් කළ අභියාචනයක් සළකා බැලීමෙන් අනතුරුවයි.