ආණ්ඩු පක්ෂ මැදිහත්වීමකින් නැගෙනහිර වෙරළේ වැලි ගොඩදැමීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවට මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමාණික්කම් ප්‍රකාශ කළේ ය.

අද (07) පැවති පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේ ය. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ නැගෙනහිර පළාත් රාජ්‍ය නිළධාරීන්ද ඇතුළුව සියල්ලන්ම මෙම ජාවාරමට සම්බන්ධ බවයි.

” ඒ වගේම කථානායකතුමනි අපිට දැනගන්න ලැබෙනවා මේ නැගෙනහිර පළාතේ තියෙන වැලි අරං යන්නේ මාලදිවයිනේ දූපතක් හදන්න විකුණන්න කියලා. ලංකාවේ ඩොලර් නැතිවෙලාවේ මේ විදේශ විනිමය හරි ලැබෙන එක හොඳයි කියලා බලද්දී ඒ ඩොලර් ලංකාවට එන්නෙත් නෑ කියලා ආරංචියක් තියෙනවා. ගරු කථානායකතුමනි මේකට සම්බන්ධ ආණ්ඩු පක්ෂේ ඇතුළේ ඉන්න කට්ටිය අතරේ ගැටලු කියලා කිව්වට ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ඇමති කෙනෙම් සම්බන්ධ වෙලා ඉන්නේ, වැලි පටවන්නේ පොහොට්ටුවෙ මන්ත්‍රීවරු, සහයෝගය දෙන්නේ වියත්මගෙන් ආපු නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරිය. එතුමිය නීතියට කිසි ගරුත්වයක් නැතුව වැඩ කරන්නේ.” මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ය.

මේ පිළිබඳව තමා අදාල විෂයභාර ඇමතිවරයා දැනුවත් කළ බව සඳහන් කරමින් මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියේ නැගෙනහිර පළාතෙන් පරිබාහිරව වෙනත් පළාත්වලද මෙසේ ජාවාරම් ක්‍රියාත්මක වූවත් ඇමතිවරයා ඒ පිළිබඳව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවයි.

” ලංකාව පුරා මේ වැලි පර්මිට් වලින් වෙන හානිය වැඩිවෙලා තියෙනවා. ඒ ගැන ගරු ඇමතිතුමා පිළිතුරක් ලබාදෙනවා කිව්වට තම් ලබාදීලා නම් නැහැ. ඇමතිතුමව පෞද්ගලික හම්බුණු වේලේත් ඒ ගැන ඇහුව නිසා ඒ ගැන මං සභාවේ ප්‍රසිද්ධියේ අහන්නෙ නැහැ. හැබැයි කථානායකතුමනි අද වෙනකල් මඩකලපුව දිස්ත්‍රික්කයේ හෝ වෙන කිසිම දිස්ත්‍රික්කයක වැලි ජාවාරමට සම්බන්ධ නිළධාරීන් මාරු කරලා යවලත් නෑ මොකුත් නැහැ. ” මන්ත්‍රීවරයා සඳහන් කළේ ය.