පාස්කු ඉරු දින ප්‍රහාර මලාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් බන්ධනාගාර රෝහලේ දී වෛද්‍යවරයකුට බැණ මරණීය තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අද (23) පුවත්පත් වාර්තා කර තිබෙනවා.

බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සැකකාර රිෂාඩ් බදියුදීන් යන අය ඉකුත් 15 වැනිදා තමන්ට බැණ, මරණීය තර්ජනය කළැයි නව මැගසින් බන්ධනාගාර රෝහලේ වෛද්‍ය ප්‍රියංග ඉඳුනිල් පුපුලේවෙල මහතා විසින් කරනු ලැබූ පැමිණිල්ලකට අදාළව, පොලිස්පතිවරයාගේ නියමයෙන් මෙම විමර්ශනය ආරම්භ කළ බව කොළඹ අපරාධ කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පුවත්පත්වලට සඳහන් කර තිබුණා.

මෙම සිද්ධියට අදාළව වෛද්‍යවරයා විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට මෙන්ම වැලිකඩ පොලිසියට පැමිණිල්ලක් කරනු ලැබ තිබූ අතර, පසුව පොලිස් බලප්‍රදේශයට අනුව බොරැල්ල පොලිසියට ද  මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර ඇති බව වාර්තා වනවා.

“තමුසේ දන්නේ නැද්ද මම මෙතැනට ආවේ මොනවා කරල ද කියලා. ඒ වගේම තමයි මට තමුසෙව වෙන ලෝකෙකට අරින්නත් පුළුවන්, පැයක් ඇතුළත මාරු කරලා යවන්නත් පුළුවන්. තමුසේ වැඩිය දැඟලුවොත් පාරේ යනකොට තමුසෙයි තමුසෙගේ කාර් එකයි අළු වෙලා තියෙයි. ඒක හොඳට දැන ගන්නවා. එතකොට තමුසෙගෙ ගෑනිට මිනිහෙක්, ළමයින්ට තාත්තා කෙනෙක් තමයි නැති වෙන්නේ. තමුසේ දැනගන්නවා මම රිෂාඩ් බදියුදීන්” යැයි සඳහන් කරමින් සැකකාර රිෂාඩ් බදියුදීන් යන අය බැණ තර්ජනය කළ බවට වෛද්‍යවරයාගේ පැමිණිල්ලේ සඳහන් කර ඇතැයි පොලිසිය සඳහන් කරනවා.

තමන් ඉකුත් 15 වැනිදා බන්ධනාගාර ඩිස්පැන්සරියේදී රැඳවියන් සඳහා ප්‍රතිකාර ලබාදෙමින් සිටියදී යම් තැනැත්තකු අනවසරෙන්, බලහත්කාරයෙන් එම කාමරයට ඇතුළු වී ඇති බවත්, අවශ්‍ය තොරතුරු ලබාගත් පසුව ඔහු කැඳවන බැවින් වහාම පිටතට යන ලෙසට ඒ අවස්ථාවේදී තමන් එම තැනැත්තාට පැවැසූ බවත් පැමිණිලිකාර වෛද්‍යවරයා සිය පැමිණිල්ලේ සඳහන් කර ඇතැයි පොලිසිය පවසා තිබෙනවා.

තමන් එසේ පැවැසුව ද කාමරයෙන් පිටතට නොගිය එම තැනැත්තා, “ඔයා මහා ලොකු දොස්තර කෙනෙක් ද මට මෙහෙම කතා කරන්නේ. තමුන්ට වඩා ලොකු දොස්තරලා මම මෙහේ අඳුරනවා. මාව පරීක්ෂා කරන්න එන මගේ යාළු දොස්තරලා, බන්ධනාගාර නිලධාරීනුත් ඉවත් කරලා තමයි මට කතා කරන්නේ. ඒගොල්ලෝ මගෙන් අහනවා මට මොනවා ද ඕනෑ, නීතියට පිටින් හරි ඕනෑ උදව්වක් කරන්නම් කියලා. උඹ මහ ලොකු දොස්තර කෙනෙක් ද, මගේ යාළු දොස්තර කෙනෙක් මේ දැන් කෝල් කරලා මට ගෙන්න ගන්න පුළුවන්. මගේ වැඩ කරගන්න තමුසේ ඕනෑ නැහැ.” යනුවෙන් තමාට බණිමින් සිටි බව පැමිණිලිකාර වෛද්‍යවරයා සිය පැමිණිල්ලෙන් දක්වා තිබුණා.

“මට පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද තියෙනවා. ආණ්ඩු පක්ෂයත් විපක්ෂයක් දෙකම සලකනවා. උඹේ ආයු කාලය කෙටියි. දොස්තර උඹ පරිස්සම් වෙලා හිටපන්. ඉක්මනට මෙතැනින් පලයන් ගිහිල්ලා උඹට හැංගිලා ඉන්න තැනක් හොයා ගනින්” යනුවෙන් ද කියමින් තමාට තර්ජනාත්මකව හා අපහාසාත්මකව බැණ වදිමින් ආවේගශීලීව හැසිරුණු මෙම තැනැත්තා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බව තමන් දැන නොසිටි බව ද වෛද්‍යවරයා විසින් කරනු ලැබූ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වන බව පොලිසිය පවසනවා.

බන්ධනාගාර ඩිස්පැන්සරිය තුළ රිෂාඩ් බදියුදීන් යන අය එලෙස හැසිරෙන අවස්ථාවේදී රැඳවියකු සහ බන්ධනාගාර නිලධාරියකු ද එහි සිටි බවත්, ඔහුගේ තර්ජනාත්මක බැණ වැදීම ඇසී බන්ධනාගාර නිලධාරීන් තවත් තිදෙනකු ද ඩිස්පැන්සරිය තුළට පැමිණ සැකකාර හිටපු අමාත්‍යවරයා එම ස්ථානයෙන් ඉවත් කරගෙන ගිය බවත් වෛද්‍යවරයා සිය පැමිණිල්ලේ දක්වා ඇතැයි ද පුවත්පත් වාර්තාවල සඳහන්.