අද දින මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට තිබෙන පනත රටේ කළු සල්ලි නිදොස් කොට නිදහස් කිරීම සඳහා ගෙනැවිත් තිබෙන පනතක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ආදායම් බදු නොගෙවා වංචා කළ පුද්ගලයන් මෙන්ම, වංචාවන් සම්බන්ධයෙන් නඩු පැවරී නැති අය එම වංචනික මුදල් යළි භාවිතයට ගැනීම සඳහා ආයෝජනය කිරීම හෝ තැන්පත් කිරීම සඳහා මෙම පනතින් අවකාශ සලසා ඇති බව ද හෙතෙම පෙන්වා දෙයි.

අද (සැප්තැම්බර්7 ) මාධ්‍ය හමුවක් පවත්වමින් රණවක මහතා වැඩිදුරටත් සඳහන් කළේ සියළුම නීති පසෙකලා බදු වංචාකරුවන්ට දැවැන්ත බදු සහන ලබාදුන් ආණ්ඩුව, එම වංචාකරුවන්ට නඩු පැවරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඇති හැකියාව මොට කරමින් ධන කුවේරයන්ට තවදුරටත් සහන සැළසීමේ අරමුණෙන් මෙම පනත ඉදිරිපත් කර ඇති බවය.

එසේ බදු සහන ලබාදුන්න ද, ආයෝජනයන් වැඩි නොවූ බවත්, ගෝඨාභය රජයේ මුල් මාස 3 තුළ ආර්ථික වර්ධන වේගය -1.6% දක්වා පසු බෑ බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

එමෙන්ම කිසිම ආකාරයක නිල ව්‍යාපාරික කටයුත්තකින් උපයා නොගත් මුදල් එනම් කළු සල්ලි සුදු කරගැනීම සඳහා ආණ්ඩුව විසින් අවස්ථාව සළසා දී තිබේ.

“මේ ආණ්ඩුව සත්ගුණවත්, ධර්මපාලතුමාගේ අවතාරය කියපු අය. මේ ආණ්ඩුව බෞද්ධ පංචශීලය මත ක්‍රියාත්මක වෙන බවට ජනතාවට පොරොන්දු දීපු අය. කුලියට මිනී කරපු මිනිස්සුන්ගේ සල්ලි නීතිගත කරන්න මත් කුඩු ජාවාරම් කාරයින්ගේ සල්ලි නීතිගත කරන්න රාජ්‍ය දේපල මංකොල්ල කාපු අයගේ සල්ලි නීතිගත කරන්න දරන මේ උත්සාහයට මොන විදිහේ ප්‍රතිචාරයක් දක්වයිද කියලා අපි බලන් ඉන්නවා. ඒ වගේම වාමාංශික සටන් පාඨ කියමින් ධනපතියන්ට බැනවදිමින් ධනේශ්වර ක්‍රමය නව ලිබරල්වාදය ගැන සටන් පාඨ කියපු අයට කිසිම නව ලිබරල්වාදියෙක්වත් පසුගිය කාලවල් වල යෝජනා නොකර විදිහට තක්කඩි රංචු වලට, මංකොල්ලකාරයින්ට දඬුවම් දෙනවා වෙනුවට බදු සහන දීපු ආණ්ඩුවේ මේකට අද කොහොමද ඡන්දෙ දෙන්නේ කියන එක මත ඒගොල්ලන්ගේ වාමාංශික ඉතිහාසයත් තීරණය වෙන බව ප්‍රකාශ කරන්න කැමතියි.”

මේ රටේ පාසල් දරුවන්, දෙමාපියන්, ගුරුවරුන් හා විදුහල්පතිවරුන් අද මුහුණ දී තිබෙන අධ්‍යාපනයේ අර්බුදය සම්බන්ධයෙන් සිය අවධානය යොමු කරන රණවක මහතා සඳහන් කළේ නිවෙස්වලට කොටු වී සිටින දරුවන්ට අධ්‍යාපනය ද අහිමිව ඇති බවය.

ගුරුවරු විදුහල්පතිවරුන් අසහනයට පත්ව වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා යොමුව තිබෙන වකවානුවක පාසල් නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් නිසි වැඩපිළිවෙලක් ආණ්ඩුවට නැත. රජයේ නායකයන්ගේ දරුවන් විදේශ රටවල ජීවත්වන නිසා ඔවුන්ට ඒ පිළිබඳව සහකම්පනයක් නැත.

විධිමත් වැඩපිළිවෙලක් යටතේ ජනවාරි 01 වැනිදා සිට හෝ රටේ පාසල් විවෘත කිරීමට කටයුතු කරන ලෙස ද හෙතෙම ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

අවුරුදු 12 ත් 18 ත් අතර දරුවන්ට සංකූලතා අඩුම එන්නත ලබා දීමේ දී ප්‍රමුඛතාවය ලබා දිය යුතුය.

තරුණ කටයුතු අමාත්‍යවරයාගේ පෞද්ගලික උවමනාවට එන්නත දේශපාලන සූදුවක නොයොදවා රටේ දරු පරපුර වෙනුවෙන් කොවිඩ් එන්නත යොදා ගන්නා ලෙස ද රණවක මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට හා විද්‍යාත්මක ක්‍රමවේදයන්ට සම්පූර්ණ පටහැනිව සිදුකරන එන්නත් කරන වැඩපිළිවෙල නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය මෙන්ම සෞඛ්‍ය විශේෂඥයන් ව්‍යාකූලත්වයට පත්ව තිබේ.

“ඒක නිසා මේ විකාරය නවත්තලා එන්නත විදේශගත වෙන ශිෂ්‍යයන්ට මෙන්ම මේ රටේ අපේ හතළිස් ලක්ෂයකට අධික පාසල් දරුවන්ටත් වහාම ලබා දෙන්න කටයුතු කරන හැටියට අපි ආණ්ඩුවට කියනවා. එහෙම නැත්නම් ඒක මේ රටේ දරුවන්ට කරපු සාහසික අපරාධය මේ අවුරුදු එකහමාරක් තුළ තවත් ඉදිරියට ගෙනයාමක්.

අද ගුරුවරයා ඉතාම නින්දාසහගත තත්ත්වයකට පත් කරලා තියෙනවා. ඒ නිසා, මේ ගුරු ප් රශ්නය ඒ ගුරුවරුන්ට ලැබිය යුතු ගෞරවය හිමිකර දෙමින්, ගුරුවරුන්ට කාලකන්ණි කියමින්, ගුරුවරුන්ට අවමාන කරමින්, මිය යන මේ උද්ඝෝෂණ නිසා මියගිය බවට සමාජ මාධ් යවල පතුරවමින් ගුරුවරුන්ට එරෙහිව මේක යුද්ධයක් කර ගන්න එපා. මේක ගුරුවරු කියන්නේ මේ රටේ අනාගතය තනන ගුරු දෙගුරු කියලා අපි කිව්වේ. අපේ සංස්කෘතියේ දෙමාපියන්ට කලින් තමයි ගුරුවරයාව තිබ්බේ. ගුරු දෙගුරු කිව්වේ ඒකයි. ඒ සංස්කෘතිය ගැන කිසිම හැඟීමක් නැති පාදඩ රංචුවක් අද ඒ ගුරුවරුන්ට එරෙහිව යුද්ධයක් දියත් කරලා තියෙනවා.”

අද වන විට කොරෝනා රෝගයේ යම්කිසි පාලනයක් ඇතිවෙමින් පවතින බව වෛද්‍ය විශේෂඥයන් පවසයි. රෝගයේ ව්‍යාප්තිය උපරිම තත්ත්වයට පත්ව පසුව අඩුවීගෙන යාමේ ස්වාභාවික වක්‍රය ඊට හේතුව බව ඔවුන් පෙන්වා දෙයි. ඒ අනුව එම උපරිම තත්ත්වය පසුවූවාද නැද්ද යන්න විමර්ශනය කිරීම ආණ්ඩුවේ වගකීම බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

“රෝගය අද අතිවිශාල පිරිසකට වැළඳිලා ඉවරයි. ඔය පී. සී. ආර්. හෝ ඇන්ටිජන් පරීක්ෂණය කරපු නැති අතිවිශාල පිරිසකට මේ රෝගය වැළඳිලා, සමහරු දන්නෙත් නෑ, තමන්ට රෝගය වැළඳිලා සුව වුණා කියලා. මොකද, සීයට හැත්තෑවකට මේ රෝග ලක්ෂණ එන්නේ නෑ. ඒ නිසා රටේ සැලකිය යුතු පිරිසකට මේ රෝගය වැළඳිලා ස්වභාවික ප් රතිශක්තිය ඔවුන්ගේ සිරුරු තුළ ඇතිවෙලා තියෙන බව දැන් පැහැදිලියි මාස ගානක් යනකම් ඒ ශක්තිය පවතිනවා. තුන්වෙනි කාරණය එන්නත් කරනය රටේ ජනගහනයෙන් සියයට හතළිහකට අධික ප් රමාණයකට එන්නත් දෙකම ලබාදීම නිසා කෘතීම ප්‍රතිශක්තියක් ඇතිවෙලා තියෙනවා. ඒ එන්නත් කරනය ලබා දීම ගැන සෞඛ්‍ය බලධාරීන්ට හා ආරක්ෂක අංශවල අයට අපගේ ප්‍රණාමය පිරිනමනවා.”

එම සියළු කාරණා තිබියදී එන්නත්කරණය නිසි ආකාරයෙන් සිදුකළා නම් සිදුවූ මරණ සංඛ්‍යාව ද අවම කරගත හැකිව තිබිණි. දරුවන්ගේ අධ්‍යාපනය ද ශක්තිමත්ව කරගත හැකි ව තිබිණි.

බොහෝ දෙනෙකුගේ ඉල්ලීම මත, අගුළු දැමීමේ ප්‍රතිඵලයක් හැටියට මේ රෝග ව්‍යාප්තිය යම් ප්‍රමාණයකට පාලනය වී තිබේ.

“එන්නත් කරන්න තිබුණේ, 2020 ඔක්තෝබර් මාසේ. ධම්මික පැණියයි, කලුගෙඩි සෙල්ලමයි දදා අපේ ජනතාව මේ මරණය කරා දැක්කුවා. මේ ආණ්ඩුව. මේවා සිදුවුණේ ඝාතන, ඝාතන දහදාහක් සිදුවුණේ. ඒ බව අපි අමතක කළ යුතු නැහැ. ඒවා බේරාගත හැකිව තිබිච්ච ජීවිත නැති වුණේ.”

පස්වෙනි කොරෝනා රැල්ලක් පැමිණීමේ අවදානමක් ද පවතින බව පෙන්වා දෙන හිටපු අමාත්‍යවරයා ඊට මුහුණ දිය හැක්කේ, විශේෂඥයින්ගේ සහයෙන් මිසක, ආඩම්බරකාර මුග්ධ, උද්දච්ච, එවගේම එන්නතනුත් ගසා කන එවැනි දේශපාලන ක්‍රියාදාමයකින් නොවන බව අවධාරණය කළේය.

“අද මේ රටේ වසංගත රෝග අංශයේ ඉන්න අපේ ප්‍රධානියා වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මේ ක්‍රමය යටතේ තමන්ට තවදුරටත් ඉන්ඩ බෑයි කියලා ඉල්ලා අස්වෙලා තියෙනවා. බොහොම නිහතමානී වෛද්‍යවරයෙක්. මීට ප් රථම අර එන්. එම්. ආර්. එකේ සේවය කරපු වැදගත් වෘත්තීයවේදී වෛද්‍යවරු කිහිපදෙනෙක් මහාචාර්ය මලවිගේ ඇතුළු ඉල්ලා අස් වුණා. ඒ වගේම වෛද්‍ය ලක් කුමාර ඇතුළු පිරිස් ඉවත් කළා. විශේෂඥයෝ ඉවත් කර කර එහි යොදා ගත්තා. නම් පට බැඳිලා තිබුණට අපි දන්නවා වෛද්‍ය විශේෂඥයෝ වෙන්නේ නෑ. ඒගොල්ලෝ එහෙයියෝ. එහෙම එහෙයි යොදාගෙන මේක කරන්න පටන් ගත්තා. ඇත්තටම විජේවික්‍රම මහත්මයාගේ මේ ඉවත්වීම තීරණාත්මක දෙයක්.”

ආර්ථික විශේෂඥයින්ට ආර්ථිකයත් වෛද්‍ය විශේෂඥයින්ට වසංගත මර්ධනයත්, භාරගත යුතු කාලය එළඹී ඇති බව ආණ්ඩුවට මතක් කරන බව ද පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කළේය.