කොරෝනා වසංගතයෙන් නැවතී ඇති ගමේ සංවර්ධන කටයුතු ලබන වසරේ සිට නැවත ආරම්භ කිරීමට මෙවර අය වැයෙන් පළාත් පාලන ආයතන නියෝජනය කරන මහජන නියෝජිතයින්ට රුපියල් ලක්ෂ 30 බැගින් ලබා දීමටත් එක් එක් ග්‍රාම නිළධාරි වසම් සදහා රුපියල් ලක්ෂ 40 ක් බැගින් ලබා දීමටත් රජය තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ලක්ෂ 100 ක් බැගින් සංවර්ධනය සදහා මෙවර අය වැයෙන් මුදල් ලබා දීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ තිරණය කර ඇති බවද ඔහු පැවැසීය.

මාවනැල්ල හා අරනායක මැතිවරණ කොට්ඨාසවල පලාත් පාලන ආයතනවල නියෝජිතයින් සමඟ පැවැති සාකච්ඡාවකදී කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

“වත්මන් රජය බලයට ගෙන ඒමට කැප වී ක්‍රියා කළ පළාත් පාලන ආයතනවල නියෝජිතයින් මුහුණ දී සිටින ගැටලු සම්බන්ධයෙන් රජයට අවබෝධයක් තිබෙනවා. ගත වු වසර එකහමාරක කාලය කොරෝනා වසංගතය නිසා එයින් ජනතාව මුදවා ගැනීමට රජය ප්‍රමුඛත්වය ලබා දුන්නා. වසරේ ජනවාරි මාසයේ සිට ගමට වැඩ කරන්න පළාත් පාලන ආයතනවල නියෝජිතයින්ට ශක්තිය ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.” යැයි අමාත්‍යවරයා මෙහිදී පැවැසීය.