පවතින වසංගත තත්ත්වය හමුවේ රජයේ ආදායම් පහළ වැටීම හේතුවෙන් අමාත්‍යංශවල වැය සීමා කිරීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩල සංදේශයක් මඟින් යෝජනා කර තිබේ.

ඒ අනුව අමාත්‍යංශවල හා දෙපාර්තමේන්තුවල නිලධාරීන්ගේ ඉන්ධන, දුරකථන ඇතුළු දීමනා රැසක් කපා හැරීමට යෝජනා කර තිබේ.

පවතින කොවිඩ්- 19 වසංගත තත්ත්වය හමුවේ රාජ්‍ය ආදායම අපේක්ෂිත මට්ටමට වඩා පහළ වැටීම හේතුවෙන් එය රජයේ අත්‍යාවශ්‍ය වියදම් පවත්වාගෙන යාම සඳහා ප්‍රමාණවත් නොවන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ කැබිනට් මණ්ඩල සංදේශයක් මඟින් පෙන්වා දි තිබේ.

එම තත්ත්වය තුළ අමාත්‍යාංශවල වියදම් නැවත සමාලෝචනයට ලක් කිරීම මඟින් වියදම් සීමා කර ගැනීමට කටයුතු කිරීම වඩාත් ඵලදායි වන බව මුදල් අමාත්‍යවරයා පෙන්වා දී ඇත.

ඒ සඳහා මුදල් අමාත්‍යවරයා විසින් යෝජනා 8ක් ද ඉදිරිපත් කර තිබේ.

*නියමිත අනුමැතීන් යටතේ ප්‍රතිපාදන වෙන්වී තිබුණද දැනට ආරම්භ කර නොමැති වැඩසටහන්, මිලදී ගැනීම්, ඉදිකිරීම්, ගොඩනැගිලි නවීකරණය හා වැඩිදියුණු කිරීම ආදිය තාවකාලිකව අත්හිටුවීමටත්,

*සේවක බඳවා ගැනීම සඳහා මූලික කටයුතු සිදුකර තිබුණද මෙතෙක් පත්වීම් කර නොමැති තනතුරු සඳහා බඳවා ගැනීම් කල් තැබීමටත්,

*සුබසාධන වැඩසටහන් යටතේ ප්‍රතිලාභී ලේඛන සමාලෝචනයට ලක්කර අත්‍යාවශ්‍යෙයන්ම ප්‍රතිලාභ ලබාදිය යුතු අඩු ආදායම්ලාභීන්ට පමණක් සීමා කිරීමටත්, යෝජනා කර තිබේ.

*එමෙන්ම අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර නොමැති කිසිඳු දීමනාවක්, සුබසාධන වැඩසටහන්, සංවර්ධන සහයන් හෝ සහනාධාර ලබාදීම නතර කිරීමටත්, 

*අමාත්‍යංශ ලේකම්වරුන්ගේ, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ අනුමැතීන් යටතේ ගෙවනු ලබන වැටුප් නොවන දීමනා, බිල්පත් ප්‍රතිපූර්ණය කිරීම යනාදිය පොදුවේ සියලු නිලධාරීන්ට ලබාදීම වෙනුවට සත්‍ය වශයෙන් කාර්යයේ නියැලෙන නිලධාරීන්ට පමණක් සීමා කිරීමටත්,

*මූලධන සංවර්ධන වැඩසටහන් යටතේ වෙන් කර ඇති ප්‍රතිපාදන භාවිතයෙන් සිදුකරනු ලබන විවිධ ද්‍රව්‍ය, භාණ්ඩ හා උපකරණ සහ මූල්‍ය ප්‍රදාන ලෙස දෙනු ලබන ආධාර බෙදාදීම අත්හිටුවීමටත්, යෝජනා කර තිබේ.

*අමාත්‍යංශවල සුවිශේෂ ප්‍රමුඛතාවලට සෘජුව අදාළ නොවන සියලුම ආකාරයේ වැඩසටහන් සඳහා වියදම් දැරීම වහාම අත්හිටුවීමටත්,

*නිලධාරින් සේවයට කැඳවන අවස්ථාවේදි නිලධාරීන්ගේ පැමිණිම පදනම් කරගත් ඉන්ධන දීමනා වැනි දීමනා සේවයට වාර්තා කරනු ලබන දිනවලදී පමණක් ලබා දීමටත්, මුදල් අමාත්‍යවරයා විසින් සිය කැබිනට් මණ්ඩල සංදේශයේ වැඩිදුරටත් සඳහන් වේ.

එම ක්‍රියාමාර්ග අනුගමනය කර එක් එක් අමාත්‍යංශ විසින් ඉතිරි කිරීමට අපේක්ෂිත අරමුදල් ප්‍රමාණය පිළිබඳ නොපමාව භාණ්ඩාගාරය වෙත දැනුම් දීමට කටයුතු කරන ලෙස අමාත්‍යංශ ලේකම්වරුන්ට නියම කරන ලෙසයි මුදල් අමාත්‍යවරයා ඇමතිවරුන්ගෙන් ඉල්ලා සිටී.

මීට අදාළ චක්‍රෙල්ඛය ඉදිරි සතියේ දී නිකුත් කිරීමට නියමිත බවට වාර්තා වේ.