සහල් සඳහා උපරිම මිලක් නියම කිරීමට අදාළව නිකුත් කර තිබු ගැසට් පත්‍රය අවලංගු කිරීමට ආදාළ නව ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ඊයේ (29) එම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ අතර සහල් මිල පාලනය තාවකාලිකව ඉවත් කිරිමෙන් පසු සහල් මෝල් හිමියන් ප්‍රකාශයට පත්කර ඇති ඇතැම් මිල ගණන්වල ගැටලු සහගත තත්ත්වයන් පවතින බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ ප්‍රකාශ කළේය.

මහා පරිමාණ සහල් මෝල් හිමියන් ප්‍රකාශ කළ මිලට ඊයේ පිටකොටුවේ ඇතැම් තොග වෙළෙඳුන් වෙත සහල් තොග ලැබී තිබුණි.

කෙසේවෙතත් කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් මාධ්‍ය හමුවක් කැඳවමින් අවධාරණය කළේ, සහල් මිල පාලනයෙන් රජය ඉවත් නොවිය යුතු බවය

එමෙන්ම සහල් ව්‍යාපාරිකයින් මිල තීරණය කරන්නේ නම් විෂය භාර අමාත්‍යවරුන් සිය තනතුරුවලින් වහාම ඉල්ලා අස්විය යුතු බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පැවසීය.

රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා සිටියේ, සහල් මිල හෝ වී මිල සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට සදාචාරාත්මක අයිතියක් නොමැති බවය.