සුදු ළූනු වංචාවට තමන් සම්බන්ධ බවට ඔප්පුකළහොත් සිය දේශපාලන දිවියෙන් සමුගන්නා බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

කොළඹදී අද (02) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පාරිභෝගික ද්‍රව්‍යවල මිල ඉහළයාම පිළිබඳව ද අදහස් පළ කළේය.

මෙහිදී අදහස් දැක්වු අමාත්‍යවරයා,

“පාරිභෝගික කටයුතු අධිකාරියට දේශපාලන පත්වීමක් ලැබූ තැනැත්තෙක් සතොස සුදු ළූනු  වංචාව සම්බන්ධයෙන් මම සම්බන්ධ බවට ඉතා විශාල අභූත චෝදනාවක් එල්ල කිරීමෙන් පසු මට සිද්ධ වෙලා තියෙනවා මගේ විෂය පථයේ කරුණු හැර වෙනත් කිසිදු කරුණක් වෙනුවෙන් මෙම පරීක්ෂණය අවසන් වෙන තෙක් කිසිවක් කියන්න බැරි තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙන්නේ. මට අද වෙනකල් සාධාරණයක් ඉටුවෙලා නෑ. දැනට වංචාවට සම්බන්ධ අය පෑලියගොඩ පොලීසිය මඟින් පරීක්ෂණවලට ගෙනියලා සමහරු බන්ධනාගාර ගත කරලා ඇප දීලා තියෙනවා. යම් කිසි ආකාරයකින් නූල් පොටකින් හරි, හොරකමකට, වංචාවකට, දුෂණයකට හෝ අක්‍රමිකතාවයකට සුදු ළූනු වංචාවට මම සම්බන්ධ යැයි ඔප්පු කළොත්.ඒ සැණින් මම පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් හා අමාත්‍යධූරයෙන් ඉවත්වන අතර, සදහට ම ලාංකීය දේශපාලනයට සමුගැනීම මගේ බලාපොරොත්තුවයි.”