තමන්ට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ විනය පරීක්ෂණයක් සිදු නොකරන බව පක්ෂ නායකත්වය තහවුරු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර පවසනවා.

අමාත්‍ය සරත් වීරසේකර සිදු කර තිබූ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කළා.

වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පසුගිය ජනාධිපතිවරණයෙන් පරාජය වූ පසු ඔහු නැවතතත් වේදිකාවට ගෙනාවේ තමන් බවත් අද හඬ නගන ඇමතිවරු එම අවස්ථාවේ නොසිටි බවයි ජගත් කුමාර මන්ත්‍රීවරයා සඳහන් කළේ. ගුරු උද්ඝෝෂණය දුරදිග යාමට හේතුව සරත් වීරසේකර අමාත්‍යවරයා බවත් ගුරුවරුන් බලහත්කාරයෙන් නිරෝධායනය කිරීම සඳහා රැගෙන යාම ඊට හේතු වූ බවද ඔහු සඳහන් කළා.

සරත් වීරසේකර අමාත්‍යවරයා හිට්ලර් වීමට උත්සහ දරණ බවක් මේ වන විට පෙනී යන බවත් ජගත් කුමාර මන්ත්‍රීවරයා පැවසුවා. ගාමිණි ලොකුගේ අමාත්‍යවරයා සහ සරත් වීරසේකර අමාත්‍යවරයා එක්වී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන බව සඳහන් කර ඇති අතර එයට පිළිතුරු ලබාදීමට තමන් සූදානමින් සිටින බවත් එම අවස්ථාව වන විට සමහර ඇමතිවරුන්ගේ හැංගුනු දේවල්ද එළියට ගැනීමට සිදුවනු ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර වැඩිදුරටත් සඳහන් කළේ.