මෙරට සම්පූර්ණ ඇඟලුම් ඉල්ලුම දේශීය ඇඟලුම් නිෂ්පාදකයන් හරහා සපුරාලිය හැකි බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඒ ඊයේ (11) දින වෙළෙඳ අමාත්‍යවරයා සහ දේශීය රෙදිපිළි නිෂ්පාදකයින් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය අමතමින්.

එබැව්‍යින් රෙදිපිළි සැපයුම පිළිබඳ සැකයක් ඇති නොකර ගත යුතු බවයි අමාත්‍යවරයා පවසන්නේ.

බට‍ර්, චීස්, ෆ්‍රිජ්, වොෂින් මැෂින් වැනි භාණ්ඩ රැසකට ආනයන සීම පැනවූ නමුත් විපක්ෂය විසින් අවධානය යොමු කර ඇත්තේ යට ඇඳුම් සඳහා පැනවූ ආනයන සීමා කෙරෙහි පමණක් වුවත් මෙරට යට ඇඳුම් ඉල්ලුමද දේශීයව සපුරාලිය හැකි බවත් එම යට ඇඳුම් අඩු මිලට සතොස හරහා ලබා ගැනීමට සලස්වන බවත් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා.

“ශ්‍රී ලංකා ඇඟලුම් සන්නාම සංගමය යටතේ ඉන්න නිෂ්පාදකයෝ මෙරට ඇඟලුම් අවශ්‍යතාවයෙන් 100% ක් නිෂ්පාදනය කරනවා. ලාංකිකයෙකු ලෙස ආඩම්බර විය යුතුයි. තමන්ගේ මව් රට විසින් මුළු ලෝකයේ වෙනත් අයටත් යට ඇඳුම් නිෂ්පාදනය කරලා කීර්තියක් අත් කරගෙන තියෙන රටක ඉන්න එක. ඇඟලුම් අවශ්‍යතාවයක් තියෙන ඕනේම අයෙක් ඉන්නවා නම් මම වෙළෙඳ ඇමති ලෙස වගකීම බාරගන්නවා ඉල්ලන ඕනෑම ප්‍රමාණයක් සපයනවා.”