වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ජලාශ කිහිපයක් මේ වන විටත් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ප්‍රධාන ජලාශ 30 ක් සහ මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 39 කට අධික ප්‍රමාණයක් මෙලෙස වාන් දමන බව වාරිමාර්ග අධ්‍යක්ෂ, ජල කළමනාකරු, ඉංජිනේරු එච්.පී.එස්.ඩී. හේරත් සඳහන් කර සිටියා.

අම්පාර දිස්ත්‍රික්කයේ සේනානායක සමුද්‍රය, අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවිලච්චිය, මහකනදරාව, රාජාංගනය ජලාශ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරු ඔය, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර, බදුල්ල දිස්ත්‍රික්කයේ සොරබොර ජලාශද මෙලෙස වාන් දැමීම සිදුවන අතර වාන් දොරටු විවෘත කිරීම නිසා පහළ ප්‍රදේශවල ගංවතුර අවදානමක් නොමැති බව ඉංජිනේරු එච්.පී.එස්.ඩී. හේරත් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.