මෙරට සමුපකාර ව්‍යාපාරය සතු ජනතා විශ්වාසය සුරක්ෂිත කරමින් එය වඩාත් විනිවිදභාවයෙන් හා ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම සඳහා නව සමුපකාර පනත් කෙටුම්පතක් සකස් කිරීම අරමුණුකර ගත් විශේෂ දෙදින වැඩමුළුවක් සියලු පළාත් සභා නියෝජනයෙන් ඊයේ (14) දින කොළඹදී ආරම්භ කෙරුණි.

මේ සඳහා සහභාගී වූ අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කරන ලද්දේ සමුපකාර ව්‍යාපාරය ශක්තිමත් කිරීම සඳහා නව සමුපකාර නීතියක් සකස් කිරීම තීරණාත්මක අවස්ථාවකට පැමිණ ඇති බවය.

ඔහු සඳහන් කරන ලද්දේ පළාත් සභා හෝ වෙනත් පාර්ශ්වික අරමුණු මත නොව, රටේ ශක්තිමත් සමුපකාර ව්‍යාපාරයක් ගොඩනැගීමේ අරමුණින් මෙම ක්‍රියාවලිය සිදුකරන බවය.

රාජ්‍ය සහ පෞද්ගලික අංශ මෙන්ම සමුපකාර ව්‍යාපාරයද රටේ ආර්ථිකයේ වැදගත් කුළුණක් ලෙස ගොඩනැගීම රජයේ අරමුණ බවද අමාත්‍යවරයා පැවසීය.

කෙසේ වෙතත්, සමුපකාර ක්ෂේත්‍රය තුළ පවතින ගැටලු සහ පවතින නීතිවල අඩුපාඩු හේතුවෙන් ජනතාවගේ විශ්වාසයට බලපෑම් එල්ල වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

සමුපකාර ආයතන වෙත ජනතාව තැන්පත් කරන මුදල් සහ ඔවුන්ගේ විශ්වාසය ආරක්ෂා කිරීම රජයේ වගකීමක් බවත්, නව නීති සකස් කිරීමේදී එය ප්‍රමුඛ කරුණක් කරගන්නා බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

අතීතයේ සිදුවූ දේ කෙසේ වෙතත්, ඉදිරියේදී ශක්තිමත් සහ විශ්වාසනීය සමුපකාර ව්‍යාපාරයක් ගොඩනැගීමේ අවශ්‍යතාව ඔහු වැඩිදුරටත් අවධාරණය ක‍රන ලදී.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>>>