ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රවාහන ක්ෂේත්‍රයට නව මංතීරුවක් විවර කරමින්, කඩවතේදී පළමු මෙට්‍රො බස් ඩිපෝව ඉදිකිරීම 2026 මැයි 4 දින නිළ වශයෙන් ආරම්භ විය.
මෙම වැඩ ඇරඹුම ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වූ අතර, ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත – ගනේමුල්ල මාර්ගය ආසන්නයේ පිහිටි ලං.ග.ම. ඩිපෝව අසලින් මෙම නව ගොඩනැගිල්ල ඉදිකරයි.
ව්‍යාපෘතියේ මුළු පිරිවැය රුපියල් මිලියන 102ක් වන අතර 2026 ජූලි 30 වන දින අවසන් කිරීමට සැලසුම් කර ඇත.
දැනට නියමු ව්‍යාපෘතියක් ලෙස බස් රථ 10ක් යොදා ගනිමින් මෙට්‍රො බස් සේවාව ක්‍රියාත්මක වන අතර, එය අගෝස්තු මස සිට මාර්ග 6ක බස් රථ 122ක් යොදා ගනිමින් පුළුල් සේවාවක් බවට පරිවර්තනය කිරීමට නියමිතය.
දිගුකාලීනව බස් නැවතුම්, ඒකාබද්ධ ගෙවීම් ක්‍රම, නව ඩිපෝවන් සහ අනෙකුත් යටිතල පහසුකම් සකස් කරමින් සේවාව සංවර්ධනය කිරීමටත් සැලසුම් කර ඇත.
අමාත්‍ය ගුණසේන මහතා මාධ්‍ය වෙත අදහස් දැක්වූයේ, ලං.ග.ම. ප්‍රතිසංවිධානය කරමින් දූෂණ අක්‍රමිකතා අවම කර නව කළමනාකාරීත්වයක් යටතේ කාර්යක්ෂම පොදු ප්‍රවාහන සේවාවක් ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බවයි.
ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ, පොදු ප්‍රවාහනයේ ගුණාත්මක වෙනසක් සිදු කිරීමට ව්‍යුහාත්මක පියවර අවශ්‍ය වන අතර, ඒ සඳහා අමාත්‍යංශ මට්ටමින් වැඩපිළිවෙලක් ක්‍රියාත්මකව පවතින බවයි.





