මැදපෙරදිග කලාපයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් රජය විශේෂ අවධානය යොමු කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුධ වාතාවරණය පිළිබඳ පැහැදිලි කිරීම සඳහා ඊයේ (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මැදපෙරදිග කලාපයේ සේවය කරන ලක්ෂ 10කට ආසන්න ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සඳහාත්, මෙරට තුළ සිටින විදෙස් සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් රජය අවශ්‍ය සියලු මැදිහත්වීම් සිදුකරන බව අමාත්‍යවරයා පැවසීය.

එම කලාපයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල පැය 24 පුරාම ක්‍රියාත්මක වෙමින් ඔවුන් වෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදුකරන බවත්, එහෙත් මේ වන විට කඩිනමින් ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට හැකියාවක් නොමැති බවත් ඔහු පෙන්වා දුන්නේය.

එමෙන්ම විදෙස් කටයුතු අමාත්‍යංශය හරහා 0094 742595546 දුරකතන අංකය සහ 1989 ක්ෂණික දුරකතන සේවාව හඳුන්වා දී ඇති අතර, ඒ ඔස්සේ මැදපෙරදිග රටවල සිටින ශ්‍රී ලාංකිකයින්ට තම ගැටලු ඉදිරිපත් කළ හැකි බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලද්දේ, හදිසි නීතිය නැවත දීර්ඝ කිරීමේ යෝජනාව මේ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය බලාපොරොත්තු වන බවය.