යුද, නාවික සහ ගුවන් හමුදාවලට අයත් නිත්‍ය බල සේනාවන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 57 දෙනෙකු වෙනුවෙන් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කිරීමේ අවස්ථාව ඊයේ (30) දින ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

මේ සඳහා සහභාගී වූ ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරන ලද්දේ,
ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට පිරිනමන වැදගත්ම සහ විශිෂ්ටතම සම්මානයක් හිමිවීම, රට සහ ජනතාව වෙනුවෙන් දීර්ඝ කාලයක් සිදුකළ කැපවීමේ ප්‍රතිඵලයක් බවය.

වසර 25කට වැඩි සේවා කාලයක් තුළ රට මුහුණ දුන් සංකීර්ණ යුද තත්ත්වයන් මෙන්ම ස්වභාවික ආපදා අවස්ථාවලදීද ත්‍රිවිධ හමුදා නිලධාරීන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ බවද,
සාමාන්‍ය රාජ්‍ය සේවකයෙකුට වඩා වැඩි කැපවීමක්, දරාගැනීමක් සහ අවදානමක් දරමින් ඔවුන් සිය රාජකාරි ඉටු කළ බවද ඔහු අවධාරණය කළේය.

මෙම සම්මාන හිමිවන නිලධාරීන්ගේ සේවය පිටුපස ඔවුන්ගේ බිරින්දෑවරුන් ඇතුළු පවුලේ සාමාජිකයන් ලබාදුන් සහයෝගයද විශේෂයෙන් අගය කළ ජනාධිපතිවරයා, එම කැපවීම සහ සහයෝගය මෙම සම්මාන සඳහා වැදගත් පදනමක් වූ බව පැවසීය.

රට සහ ජනතාව වෙනුවෙන් සිදුකළ විශිෂ්ට සේවයට ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත සිය ස්තූතිය පළ කරන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>