ඉන්දීය සංචාරයක නිරත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු නියෝජිත පිරිස ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් හමුවී තිබේ.

අද (01) පස්වරුවේ පැවති මෙම හමුවේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.

එමෙන්ම, තාක්ෂණික දියුණුව රටක සංවර්ධනයට බලපාන ආකාරය, ජනතාව සහ තරුණ ප්‍රජාව සමඟ සමීප සන්නිවේදනයක් පවත්වා ගැනීම සහ ජනතාව මුහුණ දෙන ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීම පිළිබඳවද අදහස් හුවමාරු වී ඇත.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මෙන්ම දෙරටේ දේශපාලන පක්ෂ අතර අත්දැකීම් හා දැනුම හුවමාරු කර ගැනීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී අවධානය යොමු වී තිබේ.

මීට අමතරව, දෙරට මුහුණ දෙන අභියෝග, ශ්‍රී ලංකාවේ ඉන්දීය ආයෝජන සඳහා පවතින අවස්ථා සහ දෙරට අතර සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳවද සාකච්ඡා කර තිබේ.