ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ අත්කර ගත හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකිරීම මෙන්ම, රට තුළ ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැගීම සහ නිරෝගී ජනතාවක් බිහිකිරීම අරමුණු කරගනිමින් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට සැලසුම් සකස් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක උපදෙස් දී තිබේ.

2027 වසරේ අයවැය යෝජනා පිළිබඳව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ ඊයේ (29) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.

බෝ නොවන රෝගවලට මුහුණදීම සඳහා ක්‍රීඩාවට පුළුල් කාර්යභාරයක් ඉටු කළ හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ජනතාව ක්‍රියාශීලී ජීවන රටාවකට යොමු කිරීමේ වැදගත්කමද මෙහිදී අවධාරණය කළේය.
එමෙන්ම, දැනට පවතින ඇවිදීමේ මංතීරු ප්‍රයෝජනයට ගැනීමට ජනතාව දිරිගන්වන වැඩසටහන් හඳුන්වා දෙන ලෙසද උපදෙස් දුන්නේය.

ජාතික ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානයක් පිහිටුවීම, අනුරාධපුරයේ මීටර් 400ක කෘත්‍රිම ධාවන පථයක් ඉදිකිරීම, දියගම ජාත්‍යන්තර ක්‍රීඩාංගණය සහ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය සංවර්ධනය කිරීම ඇතුළු 2027 වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති පිළිබඳවද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කෙරිණි.