චරිත් අබේසිංහ පිළිබඳ බහුජන බලය සංවිධානය විසින් නිවේදනයක් නිකුත් කොට ඇත. එම නිවේදනය මෙසේ දක්වා ඇත.
”චරිත් අබේසිංහ මහතා වෙත,
බහුජන බලයේ සාමාජිකත්වය අත්හිටුවීම සහ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත් කිරීම
බහුජන බලය සංවිධානයේ ව්‍යවස්ථාව, ආචාරධර්ම සහ මූලධර්මවලට අනුකූලව, ඔබ සම්බන්ධයෙන් මේ වන විට මතුවී ඇති බරපතළ අල්ලස් හා දූෂණ චෝදනා, ඒ සම්බන්ධයෙන් සිදු කෙරෙන නිල විමර්ශන, අත්අඩංගුවට ගැනීම සහ අධිකරණ ක්‍රියාමාර්ග පිළිබඳ කරුණු සැලකිල්ලට ගනිමින්, බහුජන බලය විධායක මණ්ඩලය විසින් පහත තීරණ ඒකමතිකව ගෙන ඇත.
ඒ අනුව බහුජන බලයේ ව්‍යවස්ථාවේ අදාළ වගන්ති ප්‍රකාරව,
- ඔබගේ බහුජන බලය සංවිධානයේ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවනු ලැබේ.
- ඔබ දරනු ලබන බහුජන බලය ජාතික සංවිධායක ධූරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරනු ලැබේ.
මෙම තීරණය ගැනීමට හේතු වී ඇත්තේ,
- ඔබට එරෙහිව බරපතළ අල්ලස් හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් නීතිමය විමර්ශන ආරම්භ වී තිබීම.
- එම චෝදනා සම්බන්ධයෙන් ඔබ අත්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාමාර්ග සඳහා ඉදිරිපත් කර තිබීම.
- එම තත්ත්වය හේතුවෙන් බහුජන බලය සංවිධානයේ කීර්තිය, විශ්වසනීයත්වය සහ මහජන විශ්වාසය ආරක්ෂා කිරීමේ වගකීම මතුව තිබීම.
- යහපාලනය, විනිවිදභාවය, වගවීම සහ දූෂණයට එරෙහි ස්ථාවර ප්‍රතිපත්තියක් අනුගමනය කරන සංවිධානයක් ලෙස අපගේ මූලධර්ම ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවයයි.
මෙම තීරණය ඔබ වරදකරු බවට පූර්ව නිගමනයක් නොවන අතර, අධිකරණයේ අවසන් තීන්දුවට පෙර සංවිධානයේ ගෞරවය, විශ්වසනීයත්වය සහ මහජන විශ්වාසය ආරක්ෂා කිරීම සඳහා ගනු ලැබූ පරිපාලනමය තීරණයක් බව අවධාරණය කරමු.
බහුජන බලය සංවිධානය විශ්වාස කරන්නේ දේශපාලනය යනු පුද්ගල ප්‍රතිරූප ආරක්ෂා කිරීමේ ක්‍රමවේදයක් නොව, මහජන විශ්වාසය ආරක්ෂා කිරීමේ වගකීමක් බවයි. එබැවින්, පුද්ගල ප්‍රතිරූපයක ජනප්‍රියත්වය, දේශපාලන බලය හෝ තනතුර කුමක් වුවද, සංවිධානයේ මූලධර්ම හා ආචාරධර්මවලට පටහැනි තත්ත්වයන් තුළ අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගැනීමට බහුජන බලය කිසිදු අවස්ථාවක පසුබට නොවනු ඇත.
මෙම තීරණය ශ්‍රී ලංකාවේ තරුණ දේශපාලන නායකයන්ට සහ අනාගත නායකත්වයට වැදගත් ආදර්ශයක් සපයනු ඇතැයි අපි විශ්වාස කරමු. නායකත්වය යනු බලය පමණක් නොව, වගකීම, අවංකභාවය, විනිවිදභාවය සහ නීතියට ගරු කිරීම මත ගොඩනැගිය යුතු වටිනාකමක් බව මෙම ක්‍රියාමාර්ගය මඟින් පැහැදිලි පණිවිඩයක් ලබා දෙයි.
එමෙන්ම, නීතියේ ආධිපත්‍යය සහ සමානාත්මතාවය ආරක්ෂා කිරීම සඳහා වත්මන් රජය ද එකම ප්‍රමිතිය අනුගමනය කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු. බහුජන බලය සංවිධානය විසින් මීට පෙර විවිධ රාජ්‍ය ආයතන වෙත ඉදිරිපත් කර ඇති පැමිණිලි සම්බන්ධයෙන් මෙන්ම, රජයේ තනතුරු දරන සහ විවිධ චෝදනාවලට ලක්ව සිටින සියලු පුද්ගලයන් සම්බන්ධයෙන්ද කිසිදු පක්ෂග්‍රාහීත්වයකින් තොරව, නීතිය එක හා සමානව ක්‍රියාත්මක කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
“නීතිය ඉදිරියේ සියලු දෙනා සමානයි” යන ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මය ප්‍රායෝගිකව තහවුරු කිරීම රජයේ මෙන්ම සියලු දේශපාලන සංවිධානවලද වගකීමකි. බහුජන බලය එම මූලධර්මය නොවෙනස්ව ආරක්ෂා කිරීමට අඛණ්ඩව කැපවී සිටින බව මෙයින් නැවතත් ප්‍රකාශ කරමු.
මෙම තීරණය වහාම ක්‍රියාත්මක වන අතර, අධිකරණයේ අවසන් තීන්දුව සහ ඉදිරි නීතිමය වර්ධනයන් සැලකිල්ලට ගනිමින් අවශ්‍ය වුවහොත් සංවිධානයේ විධායක මණ්ඩලය විසින් ඉදිරි තීරණ ගනු ලැබේ.
ඉරංග මෙන්ඩිස්
ප්‍රධාන ලේකම්
බහුජන බලය. ”





